ලව් ලොක්

 


මේ  තියෙන්නේ  මං දවස ගානෙ  උදේ හවස වැඩට  යන එන පාරේ තියන පාලමක ඇන්ද. මේක පයින් යන මිනිසුන්ටයි පුට්බයිසිකල් වලටයි විතරක් තියෙන පාලමක්. පාලම දෙකට බෙදල එක පැත්තක් පයින් යන්නයි අනිත් පැත්ත පුට්සයිකල් වලට යන්නයි හදල තියෙන්නෙ. පුට්සයිකල් පැත්ත ආයෙත් සුදු ඉරකින්  දෙකට බෙදල  තියෙනවා දෙපැත්තට යන අයට වෙන වෙනම යන්න. කෝපන්හේගන් කියන්නේ බයිසිකල් කරුවන්ගේ නගරය කියනවනෙ. ඒක නිසා මෙහේ කන්තෝරු ඇරෙන වැහෙන වෙලාවට මේ පාලම හරිම තදබදයි. ඩෙන්මාර්ක මිනිස්සු සෑහෙන්න ඉවසිලිවන්ත ජාතියක් වුණාට බයිසිකලේ හෙමින් යන්න නම්  පොඩ්ඩක්වත් කැමති නෑ. පොඩි ඉඩක් ලැබුන ගමන් ඉස්සර කරන්න තමයි බලන්නෙ. ඉතින් මේ පාලම උඩදී වුනත් ඉස්සර කරනව. අනිත් එක තමයි ජෝඩු යනකොට දෙන්න එක්ක බයිසිකල් දෙකේ කතා කර කර යනවා. එතකොට ඉතින් තව  කෙනෙක්ට ඉස්සර කරන්න ඉඩක් නෑ. එහෙම වෙලාවක දවසක් ඔහොම ජෝඩුවක් යන ගමන් දෙන්නගෙන් කොල්ලගේ බයිසිකලේ පැටලුනා ඉස්සරහින් ආපු තවත් මහත්තයෙක්ගෙ බයිසිකලේ පාලම උඩදි, කොල්ල නම් එතැනම වැටුන හැබැයි අර  මහත්තයා කරණමකුත් ගහල තමයි නැවතුනේ. බලන්න වටින්නේ ඒ මහත්මයා නැගිට්ටට පස්සේ හැසුරුණු විදිය, ලංකාවේදී හාමුදුරුවන් වහන්සේ කෙනෙක්ගෙන් වත් බලාපොරොත්තු වෙන්න බැරි තරම් සංයමයක් මං දැක්කෙ.  කොල්ල ලඟට දුවගෙන ඇවිත් සමාව ඉල්ලුවා මහත්තය අහිතක් නැතුව සමාව දීල බයිසිකලෙත් කෙලින් කරන් තමන් යන්න ආව ගමන ගියා. 



ලංකාවේදී නම් කුණුහරුප දෙකක් කියලා කොල්ලගේ කනත් අතගානව ඔයවගේ වෙලාවට. මිනියක් දෙකක් මැරුණත් පුදුම වෙන්න දෙයක් නෑ. 

පාලමේ විශේෂත්වය තියෙන්නේ පයින් යන පැත්තේ. මම නම දෙතුන් වතාවකට වඩා ඕකෙ පයින් ගිහින් නැහැ මගේත් ප්‍රධානම ප්‍රවාහන මාධ්‍ය පුට්සයිකලේ හින්දා. ග්‍රීස්ම සෘතුවෙ දවසක උදේ පාන්දර මෙතනින් යනකොට දියකිඳුරීයො ගොඩට එනව වගේ දේකුත් බලා ගන්න පුළුවන්. 

පාලමේ පැත්තේ ආරක්ෂක වැටේ තියන කේබල් වල එල්ලලා ලොක් කරපු ඉබ්බන් මට දැකපු දවසේ ඉඳලා ලොකු ප්‍රශ්නයක්. නිකම් ලංකාවේ දේවාලවල පඬුරු ගැට ගහල වගේ. ඒ වගේ අමුතු දේවල් එල්ලන ගහක් තියනව ත්‍රිකුණාමලේ කෝනේෂ්වරම් වල. ඒ තමයි පුංචි තොටිලි. ළමයි නැති අම්මල කෝවිලට බාර වෙලා අර ගහේ අත්තක පුංචි තොටිල්ලක් එල්ලනව. 



හැබැයි මේ පාලමේ ඉබ්බො එල්ලල තියෙන්නෙ  එහෙම බලාපොරොත්තුවකින් නෙවෙයි. ආදරයේ සංකේතයක් විදියට මේව මිනිස්සු එල්ලන්නෙ. වයස් භේදයක් ලිංග භේදයක් නැතුව දෙන්නෙක් ආදරය කරන්න පටන් ගත්තම දෙන්නත් එක්ක කඩෙන් අලුත් ඉබ්බෙක් අරගෙන පාලම උඩට ඇවිත් ඉබ්බා පාලමේ කේබල් එකට තියල ලොක් කරලා යතුරු ටික වතුරට වීසි කරනව. මං මුලින් හිතුවේ යතුරු දෙකක් දෙන්න ලඟ තියාගන ඉඳල සම්බන්ධෙ ඉවර වුනාට පස්සේ එක්කෙනෙක් ඇවිත් ඉබ්බා ඇරල ඒක අරන් යනවා ඇති කියල. මොකද මෙහේ ආදර සම්බන්ධතා පටන් ගන්නව වගේම ඉවර වෙන එකෙත් කෙලවරක් නැති නිසා. 

හැබැයි එහෙම ඉවර වුනා කියලා බෙලි කපන්නේ වත්

 කෙල්ලව මරල සියදිවිනසා ගන්නෙවත් නෑ. පිංතූර යවල බය කරන්නෙත් නෑ. මූණු පොතේ දාල චරිත ඝාතන කරන්නෙත් නෑ. 

"කාට අහිමි වුනත් සාධු මල් පිපියන් සැමදා" කියල වෙන අතක් බලා ගන්නව. 

ඉබ්බන් එල්ලල ලොක් කරල  බලාපොරොත්තු වෙන්නේ නොබිඳෙන ආදරයක්. යතුරු වතුරට වීසි කරන එකෙන් ආදරය කෙලවර වෙන්න තියන සාධක නැවත හොයා ගන්න බැරි තරම් දුරකට ඈත් කරල තියන්න අහිංසක බලාපොරොත්තුවක් තමයි ඒ අයගේ ඇත්තේ. 



මේ අහිංසක වැඩේ කාටවත් කරදරයක් නැති වුණාට කාලෙකදි ආණ්ඩුවට නම් කරදරයක් වෙනව. මොකද අවුරුදු ගානකකදී පාලමට දරාගන්න බැරි තරම් ඉබ්බො ගොඩක් එකතු වෙන හින්දා. තාම කෝපන්හේගන් වල පාලමක නම් එච්චර ගොඩගැහිල නැහැ. ඒත් ප්‍රංශයේ පැරිස් නුවර පාලමක ආරක්ෂක වැටට අධික බර  අවදානම නිසා ආණ්ඩුවෙන් මෙහෙම එල්ලපු  ඉබ්බන් අයින් කරන්න කටයුතු කරල තියෙනව. 


 Pictures from Google map. Thanks who uploaded 
















බාල්දු කථා

ලව් ලොක්

  මේ  තියෙන්නේ  මං දවස ගානෙ  උදේ හවස වැඩට  යන එන පාරේ තියන පාලමක ඇන්ද. මේක පයින් යන මිනිසුන්ටයි පුට්බයිසිකල් වලටයි විතරක් තියෙන පාලමක්. පාලම...