ගඟේ සාපය



අපේ ගම මැදින් ගලන ගිං ගඟ ගමේ මිනිස්සුන්ට සම්පතක් වගේම විපතුත් ගෙනාව. කාලෙකට කලින් හුඟ දෙනෙක් ගඟ කිට්ටුව වගේම ගඟේත් මැණික් ගැරුවා , හොරෙන් තමයි කරේ හුඟක් ඒවා, සමහරු වැලි ගොඩ දැම්මා , සමහරු රත්තරන් ගැරුවා , ගංවතුරක් ආවම ඉතින් හුඟ දෙනෙක් කරදර වෙනවා, ගෙවල් යට වෙනවා , කඩවල් යට වෙනවා , බොහොම පරිස්සමෙන් බැලුවොත් පේන දෙයක් තමයි ගඟේ දේවල් විකුණලා සල්ලි හම්බ කරපු කිසි කෙනෙක්ට යහපතක් වුනේ නැති බව , යහපතක් කෙසේ වෙතත් හිතා ගන්න බැරි දුක් කරදර වලට මූණ දුන්න බවට උදාහරණ මට ඕන තරම් තියනවා.

1- කළු මහත්තයා
කළු මහත්තයා කිව්වේ ගමේ අය එයාට .  එයාත් වැඩිය කරේ වැලි ගොඩ දැම්මා මහා පරිමානෙන් නෙවෙයි සුළුවට කරේ  .නැත්තම් ගඟේ කිමිදිලා ගැරුවා , කිමිදින්න ඕන ගොඩක් බඩු එයා ගාව තිබුනා . පොඩි පොඩි වගාවකුත් කරා ඉන්න ගමන් . එයාට එක පුතයි හිටියේ , මුලින්ම පුතා නැති උනේ හමුදාවේ ඉන්න කොට යුද්දෙදි නෙවෙයි කෝච්චියේ යන ගමන් ඔලුව එලියට දාගන ගිහින් පාලමක වැදිලා, පුතා නැති වෙලා අවුරුද්දක් යන්නත් කලින් කළු මහත්තයාගේ හාමිනේත් නැති උනා ලෙඩ වෙලා , ඊළඟ කළු මහත්තයත් ඒ පාරේම ගියා , පවුලේ තුන් දෙනාම අකාලයේ යන්න ගියේ , පාලුවට ගිහිපු ගෙදරවත් අයිති කාරයෙක් නෑ දැන්

2- රටේ ගෙදර අයියා

ගමේ මිනිස්සු කිව්වේ රටයා කියලා, මිනිහා කිසිම රස්සාවක් කරේ නෑ උදේ ගෙදරින් තේ එක බීල පිටත් වෙන මනුස්සය ගෙදර ආපහු ආවේ රෑ දොළහ පහු වෙලා තමයි , වැඩිය ගැවසුණේ අල්ලපු ගමේ , කාගේ හරි ගෙදරකට ගොඩවෙලා දොඩවා දොඩවා ඉන්න එක මිනිහගේ ලොකුම රාජකාරිය , තුන් වේලම කොහේ හරි ගෙදරකිනුත් හම්බුනා මිනිහට , වයස පැනලා තිබුනට කසාදයක් කරගන තිබුනෙත් නෑ , හවස් වෙනකොට TV එකක් දාල තියන ගෙදරකට ගොඩ වෙලා යන්නේ ඉතින් TV එකේ ජාතික ගීයත් ගියාට පස්සේ , කොහෙන් හරි නිකන් බොන්න ටිකක් හම්බුනොත් ඒකත් බීල බොන්න දීපු එකාටත් බැනල තමයි යන්නේ , කොච්චර වුනත් ගමේ මිනිස්සු මිනිහව එලව ගත්තේ නැත්තේ මගුලක්‌ මල  ගෙයක් දානයක්   කොහේ තිබුනත් මිනිහ එකෙන්ම එතැන් හිටියා වැඩක්  පලක් කරලා දීල එලි වෙනකම් නිදි මරන්න කවුරු නැතත් මිනිහ හිටියා . ඔය  ඉන්න අතරේ මිනිහා තව වැඩක් කරා ඒ තමයි ගඟේ වැලි වලින් රත්තරන් ගරපු එක . ඒ වැඩේ හැමෝටම කරන්න පුළුවන් දෙයක් නෙවෙයි සාස්තරේ දැනගන හිටියේ බොහොම කීප දෙනෙක් විතරයි. මිනිහගේ සාක්කුවේ කොයි වෙලාවෙත් කොලේක ඔතල රත්තරන් කුඩු ටිකක් තිබුන පෙන්නන්න .
එක දවසක් ඔය වගේම කොහෙන් හරි සප්පායම් වෙලා මහා රෑ ගෙදර ගිහින් නිදා ගනිපු මනුස්සයා උදේ නැගිට්ටේ නෑ , බලන කොට සිහිය නෑ . ඉස්පිරිතාලේ අරන් ගියාට මිනිහ නැගිට්ටේ දවස් ගානකට පස්සේ කෝමා වෙලා ඉඳල . ඇඟේ සිනී වැඩි වෙලා හොඳටම මොලේට හානි වෙලා . සිහිය ආවට වැඩක් නෑ ඉතින් මිනිහ තාම අවසිහියෙන් තමයි ඉන්නේ, මොලේට හානි වෙලා හින්ද සමහර වෙලාවට විතරයි මිනිස්සුන්ව අඳුරන්නේ , මිනිහා ජිවත් වෙන්නේ දැනට අවුරුදු තිහ හතළිහකට කලින් යුගේ ඒ කාලේ දේවල් කියා කියා ගම වටේ තාමත් ඇවිදිනවා , කොන්ඩේ රැවුලත් වවාගන .

3- කිරි මාමා

 කිරි මාමාගේ ගෙවල් තිබුනේ ගඟ අයිනේම තමයි, එක හින්ද එයත් ගඟේ දේවල් වලින්ම තමයි ජීවිකාව කරේ,  කිරි මාම උසෙන් අඩු වුනාට හොඳට ඇඟ පත තිබුනා , ඒවගේම හයිය හත්තිය  තිබුන මනුස්සයා. වැලි ගොඩ දාන එක තමයි වැඩි පුරම කරේ, ගඟට බැහැල පෝර බෑග් එහෙකට වැලි කට පිරෙන්න පුරවල තෙත පිටින් කරේ තියාගන ගොඩට එන්න ලේසි පාසු මනුස්සයෙකුට කරන්න පුළුවන් වැඩක් නෙවෙයි, කිරි මාම කිසි ගානක් නැතුව ටැක්ටරයක් පිරෙන්න වැලි ඒ විදියට ගොඩ දානවා, ගංවතුරේ ඕන තැනක පාරුවක් පදින්නත් දක්ෂයා , දැන් කිරි මාමා ඉන්නේ එක තැන කිහිලි කරුවකින් පොඩ්ඩක් එහාට මෙහාට යනවා එත් එයාගේ ඇඟේ මහත නිසා එකත් ටිකක් අමාරුයි. මොකද වුනේ කියලා හේතුව නම් මම හරියටම දන්නේ නෑ. එත් ගහක් ගලක් වගේ හිටපු මනුස්සයෙක් නේද කියල දැක්කම මට නම් හිතෙන්නෙම.

3- රත්තරං ගරපු තව එක්කෙනෙක්
නම් කියන්න බැරි වුනාට මෙයා තරමක් සාර්ථකව තමන්ගේම ව්‍යාපාරයක් කරගන හිටියා සැහෙන්න කාලයක් , අර රටේ ගෙදර අයියගේ අහගන මෙයත් රත්තරං ගැරුවා , විකුනලා සල්ලිත් හම්බකරා. බොහොම අහම්බෙන් පොඩි වචන හුවමාරුවකට එක මනුස්සයෙක් මෙයාට පිහි පාරක් ඇන්න , ජීවිතේට අනතුරක් නොවුනට එකෙන් එයාගේ ජීවිතේම කඩා වැටුන , ව්‍යාපාරේ එහෙම් පිටින්ම කඩන වැටුන තිබුන  අමතර අදායම් මාර්ගත් නැති වුනා, හදන්න පටන් ගත්ත ගේත් එහෙමම ඇනහිටියා,

4- ගමේ හිටපු චන්ඩි අයියා

එයාගෙත් නම කියන එක හොඳ නැති නිසා මං  එහෙම කිව්වේ, එයාටත් ගොඩක් ඉස්සර මැණික් හම්බුනා ගරලා , ලස්සන ගෙයක් එහෙම හැදුවා ඒ සල්ලි වලින් . හොඳ තැනකින් කසාදෙකුත් කර ගත්තට ළමයි හිටියේ නෑ , පස්සේ ළමයෙක් අරන් හදාගත්තා. සල්ලියි දේශපාලන බලෙයි හින්දා කවුරුත් එයාට බයෙන් තමයි හිටියේ, ගමේ පොඩි පොඩි කොන්ත්‍රාත් වැඩත් එයාම තමයි ගත්තේ .  ළඟ ගෙදරක හිටපු පුංචි ගෑණු දරුවෙකුට කරදර කරන්න ගියා කියල එයාට චෝදනාවක් ආපු නිසා ලඟදි උසාවි දාල දවස් දාහතරකට රිමාන්ඩ් එකේ ඉන්න වුනා එයාට . හැමෝම දන්නවා මොන ජල්ලි ඇල්ලුවත් එයා ඒවගේ දේවල් කරන කෙනෙක් නෙවෙයි කියල, එත් ඊට පස්සේ ගමට මුණ දෙන්න බැරිවුනා ලැජ්ජාවට  , වැඩිපුර ගේ ඇතුලට වෙලාම ඉන්න වුනේ.


කෑමට හපන් ඩග්ලස්



ඩග්ලස් අපේ ගමේ හිටපු මනුස්සයෙක් අවුරුදු හතළිහක් විතර වෙන්න ඇති මං හිතන්නේ කසාද බැඳලා හිටියෙත් නෑ . කාලයක් ගමේ හිටියේ නැතුව ඉඳල දැනට අවුරුදු පහළොවකට  විතර විස්සකට විතර කලින් තමයි අයෙත් ගමට ඇවිල්ල හිටියේ, ටික කාලයක් අපේ ගෙවල් වලට උඩ කන්දේ තිබුන ගෙදරක නැවතිලාත් හිටියා . ඒ ඉන්න ගමන් අපේ ගෙදර පොඩි පොඩි කුලී වඩාත්  කරා. පෙනුමෙන් මිනිහා කළු රැවුල ටිකක් වාවගන ඇගපත වැඩිච්ච මනුස්සයා. කතා කරේ නම් වචන සීමා සහිතව . මිනිහට පොඩි මොලේ අප්සෙට් එකකුත් තිබුනා .

කෑමට හපන් කිව්වේ ඇත්තටම මිනිහා ගුටි කන්න තමයි හපන් , මං හිතන්නේ එක මිනිහගේ කේන්දරේ වැරද්දක්ද කොහේද . මොකද මිනිහට නොගහපු මනුස්සයෙක් ගමේ හිටියා නම් ඒ අපේ ගෙදර කෙනෙක් විතරක් වෙන්න ඇති. ගෑණුත් ගහනවා මිනිහට හැබැයි කොච්චර ඇගපත තිබුනත් මිනිහ නෙවෙයි කාටවත් අතක් ඉස්සුවේ ගහන්න , කවුරු ගැහුවත් බැන බැන යනවා ඇරෙන්න . ගමේ ඒ දවස් වල ඩග්ලස්ට  කවුරු හරි ගහනවා කියන එක  සාමාන්‍ය දෙයක් වෙලා තිබ්බේ . . මිනිස්සුත් ඩග්ලස් මොනවා කිව්වත් ප්‍රතිචාර දැක්කුවේ මිනිහට දෙකක් ඇනල , කොටින්ම අතේ පයේ හිරි අරගත්තේ මොකද දන්නවනේ වෙන එකෙකුට ඒවගේ නෙලන්න ගියොත් ගුටි කන්න වෙනවනේ එවලේ නැත්තම් පස්සේ හරි . ඩග්ලස්ට ගුටි කාපුවා මතක හිටින්නෙත් නෑ එක සැරයක් මොකක් හරි කියපු මිනිහට පහු වෙනිදත් කියල ගුටි කනවා . මිනිහගේ ඇඟත් පදම් වෙලා තිබුනේ ගුටි කන්නම. පොලිස් ජීප් එක මිනිහට මුණ ගැහුනොත්  අනිවාර්යෙන් කෑමක් තමයි , පොලිසියේ උනුත් වෙන එකෙක්ගේ තරහ පිරිමහ ගත්තේ ඩග්ලස් ගෙන් . විශේෂයෙන් ගෑණු ළමයි පාරේ  යනකොට කිසි කරදරයක් කරේ නෑ මිනිහා එත් මොකක් හරි දෙයක් අහනවා ඒකටත් උත්තර හම්බුනේ මිනිහට කුඩ පාරකින් තමයි . කොච්චර ගුටි කෑවත් මිනිහට එපා වෙන්නේ නම් නෑ, ගහන උන්ට එපා වුනෙත් නෑ මිනිහට ගහලා.
කීප සැරයක්ම ඩග්ලස් මැරෙන්නත් ට්‍රයි කරා බෙල්ලේ එල්ලිලා මැරෙන්න හැදුවා එක සැරයක්  තව සැරයක් වස බොන්න හැදුවා, හැබැයි අන්තිමට මනුස්සයා ඇත්තටම මරුනේ කොහොමද කියලා කව්රුවත් දන්නේ නෑ . ගෙදරින් තරහ වෙලා කැලේකට ගියා ගියාමයි ඩග්ලස් ආයේ  ආවේ නෑ , මිනියවත් හම්බුනේ නෑ අදටත් මනුස්සයා අතුරුදහන් මිනිහෙක් විදියට තමයි ඉන්නේ.

බොන පාට්



ගිනි පෙට්ටිය 

මේක වුනේ මං  කන්තලේ ඉන්න කාලේ, අපිත් එක්ක හිටපු සංගීත්ට  හවස් වෙනකොට බොයන්න කියල මතක් කරන්න  විතරයි ඕන කවුරු හරි අල්ල ගන්නවා අඩියක් ගහන්න . දවසක් ඔහොම අඩියක් ගගහ ඉන්න ගමන් රෑ එකොළහත් පහුවෙලා එතකොට මිනිහ සිගරට් එකක් පත්තු කරන්න ගිනි කුරක් ගැහුවා , පත්තු වුනේ නෑ දෙවැනි එකත් ගැහුවා පත්තු වුනේ නෑ , තුන්වැනි එකත් නෑ . කොටින්ම පත්තු වුනේම නෑ ගිනි කූරු එකක්වත් පෙට්ටියෙන් බාගයක් විතර ගැහුවත්. පෙඟිලත් නෑ බැලුවම ගිනි පෙට්ටිය.  සංගීත් දැන් යකා නැගලා හතර අතේ බනිනවා.ගිනි පෙට්ටි හදපු එකාගේ ඉඳල.
ඔය අව් අස්සේ මිනිහ දැක්කා ගිනි පෙට්ටිය පිටිපස්සේ තියන ටෙලිෆෝන් නම්බර් එක , බීලත් හිටපු නිසා මිනිහ ගත්තා කෝල් එක්ක ඒ නම්බරේට මේ රෑ . කොහෙද ඉතින් මේ වෙලාවට කස්ටමර් කෙයාර් ඇත්තේ නැනේ , ෆෝන් එක ඉස්සුවේ සෙකියුරිටි අන්කල් කෙනෙක්, සංගීතයා අංකල්ටත් බනිනවා ගිනි පෙට්ටිය පත්තු වෙන්නේ නෑ කියල. අන්කලුත් බය වෙලා හොඳටම කියනවා මහත්තයෝ මං මේකේ සෙකියුරිටි විතරයි මෙන්න අපේ මැනේජර් මහත්තයාගේ නම්බර් එක ඕන නම් මේකට කතා කරලා පැමිණිලි කරන්න කියලා. එහෙම කියල දුන්න කොම්පැනියේ මැනේජර්ගේ  ෆෝන් නම්බර් එක . සංගීතයත් ඇරියේ නෑ ගත්ත මිනිහටත් කෝල් එකක් එහෙම්ම, මහා රෑම මිනිහටත් සංගීතයගේ දෝස් මුරේ අහගන ඉන්න වුනා. අපේ එකා කිව්වේ නෑ සිගරට් පත්තු කරන්න ගියා කියල කිව්වේ ලයිට් ගියාම ඉටි පන්දමක් පත්තු කරන්න ගියා එක ගිනි කුරක්වත් පත්තු වුනේ නෑ , ගනිපු කඩේ නමත් කිව්වා මිනිහට. අර මැනේජරුත් ටිකක් ප්‍රොෆෙෂනල් ඩයල් එකක් , මිනිහ කිව්වා හෙටම එයාගේ ට්‍රින්කෝ ඒරියා මැනේජර්ව එවන්නම් හොයල බලන්න කියල.
කිව්වා වගේම පහුවෙනිදා වහනෙකින් ඇවිල්ල අර කඩේට අපේ සංගීතයටත් කෝල් කරලා තිබුනා . අපේ එකා නෙවෙයි ෆෝන් එක ඉස්සුවේ සතියක් විතර යනකම් දන්නේ නැති නම්බර් වලට .

බීච් එකේ අන්තිම බීම 
 මේක වුනේ මං අක්කරපත්තුවේ හිටපු කාලේ, අපි ගාව සබ් කොන්ත්‍රාත් කරපු ප්‍රගාෂ් ගේ ගෙවල් තිබුනේ  බැටිකලෝ , පෙනුමට ටිකක් මරුමුස් වුනාට හිත හොඳ එකා, දැන් නම් මිනිහ ඕස්ට්‍රේලියාවේ ඉන්නේ බෝට්ටුවෙන් ගිහින් . මිනිහගේ වැඩ ඉවර කරපු සතුටට මිනිහ අපිට පාටියක් දුන්නා , අපිත් එක්ක හිටපු කම්පනියේ සිංහල ඔක්කොම සෙට් එක එතන හිටියා . පාටිය අපි ගත්තේ අක්කරපත්තු බීච් එකේ මටත් ඒ කාලේ ලොකු දැනමුතු කමක් තිබුනෙත් නැහැ ඇත්තටම. බොන්න ගෙනත් තිබුනේ වොඩ්කා එකක් , එහේ කොහෙන්ද ඉතින් හොඳ හොඳ වොඩ්කා , මෙන්ඩිස් වොඩ්කා තමයි තිබුනේ. අපේ සෙට් එකට තියා මටත් එක දානකොට නිකන් ඔලුව කුරෝලු වෙලා ගියා. කට්ටියට එක බෝතලෙන්ම ඔඩ්ඩුසුඩාන් . අපි බිබී හිටියේ බීච්  එකේ බිමට කැනපියක් එලලා බිම වාඩි වෙලා. අපේ කෘ කැබ් එක ඒ කිට්ටුවම නවත්තලා තිබුනේ, මට ටිකක් අවුල් වේගන එනකොට මං හිමීට නැගිටලා ගිහින් කෘ කැබ් එකේ දොර ඇරලා ඇතුලෙන් වාඩි වෙලා හිටියා ටිකක් වෙලා කට්ටියට වැඩේ කරගන යන්න දීලා. මං දන්නේ නම් නෑ මං කොච්චර වෙලා හිටියද කියල එහෙම කොහොම හරි මට ඇහැරුනේ පොඩි ගෝසාවක් ඇහිලා . මං නිකන් එක ඇහැක් ඇරලා බැලුවම මට පේනවා අපේ සමන් ඒ කිව්වේ අපේ ස්ටෝකිපර් නිකන් කුණු මාළු මාලුවෙක් නැට්ටෙන් ඇදන්  යනවා වගේ එකක්. හොඳට ඇස දෙක ඇරලා බැලුවම අපේ වැඩට හිටපු අතුකෝරලව නිර්වස්තරෙන් ඇදගන යනවා  සමන වැල්ලේ එක කකුලකින් අල්ලගන,  කුණු හර්පෙන් බැන බැන .
දඩ බඩ ගාල මං වාහනෙන් බැහැල සිද්ධිය අහ ගත්තා මොකද වුනේ කියල මොකක් වුනත් මටනේ එතන හිටපු උන්ගේ වගකීම තිබ්බේ.
වෙලා තිබුනේ මේකයි බිබී ඉන්න ගමන් කවුරු හරි එකෙක් අතුකොරලයට කම්බුලට ගහල තියනවා උගේ මොකක් හරි කට කැඩිච්ච කතාවකට. ඕකට මල පන්න ගත්ත අතුකොරලයා මුහුදේ පනින්න දුවලා , මුදේ කරවටක් යනකම් ගිහිල්ලත් නැවතිලා නෑ , බැරිම තැන අපේ සමන් තමයි පැනලා පීනලා ගිහින් මේ යකාව කුදලන් ඇවිල්ල තියෙන්නේ. ඒ අරන් ඇවිල්ල උට කනටත් දෙකක් දීල ඇදන් යනකොට තමයි මම දැක්කේ .
එදත් එයින් මං නෙවෙයි වතුර කිට්ටුව බොන්න සෙට් වෙන්නේ දන්නා එකෙක් එක්ක


ගල් මුල් වල පය පැකිලී වැටි වැටි ... ප්‍රේම් 

මේකත් වුනේ මං අක්කරපත්තුවේ ඉන්නකොටම තමයි, අපි වැඩියම සෙට් වුනේ සමන්ගේ කාමරේ , මොකද එක ඔෆිස් එක ගාවම තිබුන නිසාත් ළඟ පාත කාගෙන්වත් කරදරේ කුත් නැති නිසාත්. අක්කරපත්තුවේ රෑ දවල් නැතුව පුදුම රස්නයක් තියෙන්නේ, අරාබියම තමයි එක විදියකට .
එක දවසක් ඉන්නම බැරි නිසා මං කිව්වා කාමරේ නැතුව එළියේ සෙට් වෙමු කියලා අපේ යාර්ඩ් එක තිබුනෙත් එතනම් නිසා හොඳට ඉඩකඩ තිබුනා . වටේම ඉතින් පයිප්ප ගොඩවල් ෆිටින්ග්ස් ගොඩවල් ගොඩ ගහලා තිබුනා. අපි මැද්දේ කැනපියක් බිමට එලලා කට්ටිය වටේට වාඩි වෙලා සෙට් වුනා. ටිකක් වෙලා ඉන්නකොට වෙනදා ගානට බොන ප්‍රේම් මරු කියවන්න ගත්තා, ප්‍රේම් කියන්නේ මගේ කෘ කැබ් එකේ ඩ්‍රයිවර් . අපිටත් පුදුමයි මොකද වුනේ කියල මිනිහට , දැන් මිනිහා නැගිටලා යාර්ඩ් එකේ ඇවිදිනවා . කව්රු හරි ළඟ එන්න හැදුවොත් දුවනවා, මොකක් හරි අව්ලක් වෙලා තමයි කියලා මම කිව්වා මිනිහව අල්ලලා දෙහි ගෙඩියක්වත් පොවන්න කියල, කොහේ අල්ලන්නද මිනිහ දුවනවා යාර්ඩ් එක වටේ අර පයිප්ප ගොඩවල් උඩින් යන්නේ , සරමත් නෑ දැන් ඇඟේ , අපි ලයිට් දාගන නෙවෙයි හිටියේ හඳ එලිය තිබ්බ නිසා, යන්තම් තුන් හතර දෙනෙක් එකතු වෙලා පොර බදලා අල්ලගත්ත මිනිහව , කාමරේට අරගන ගිහින් දෙහි ගෙඩියක් ඔලුවෙයි කකුලෙයි උලලා ඇඳට දාලා අල්ලගන ඉන්නත් උනා මිනිහට නින්ද යනකම්,

මට පස්සේ තමයි හිතුනේ මොකක්ද වෙන්න ඇත්තේ කියල, අරක්කු වලට සිගරට් අළු වැටුනොත් ඔයවගේ පිස්සු කෙලිනවා කියලා මන් අත්දැකීමෙන්ම දන්නවා. අර බිම වාඩි වෙලා බිබී ඉන්නකොට කෝප්ප වලට ලේසියෙන්ම අළු වැටෙන්න පුළුවන් සිගරට් කොට මාරු කරගන්නකොට. කොහොම හරි දවස් දෙකක් යනකම් ප්‍රේම්ට ඇදෙන නැගිටින්නත් බැරි තරමට ඔලුවේ කැක්කුමක් තිබුන,

ඔයිට කලින් මම වලස්මුල්ලේ වැඩකරන කාලේ  සෙට් වෙච්ච දවසක එතන හිටපු අසමජ්ජාතියෙක් තව එකෙක්ට ඕන කමින්ම සිගරට් අළු වීදුරුවට දාල තිබුනා , ඒ යකා දිව්වේ නම් නෑ එතන තිබුන ඇඳක් යට රිංගල ගන්න බැරි වුනා මෙලෝ එකෙක්ට , අන්තිමට ඇඳ ගලවල තමයි එලියට ගත්තේ අර මනුස්සයාව. අර වගේම දවස් ගානක් යනකම් ඔලුවේ කැක්කුමයි වමනෙයි තිබුනා මිනිහටත්,

දොර නම් අරින්නේ  නෑ  අයෙත් 
මේකත් වුනේ මම අක්කරපත්තුවේ ඉන්නකොටම තමයි, අපේ ප්‍රොජෙට් එකේ අන්තිම කාලේ අපි නැවතිලා හිටියේ නින්දවූර් වල ඇකොමඩේෂන්  එහෙක අපි කලින් හිටපු අක්කරපත්තුවේම එකෙන් අපිව මාරු කරා නින්දවූර් එකට කට්ටිය අඩු වෙනකොට. එතන හිටපු ලොක්ක ටිකක් අමුතු නීති දාල තිබුනේ ස්කොල හොස්ටල් එකක් වගේ, රෑ වෙලා එන්න බෑ ඉස්සරහ දොරේ යතුරු එකයි තිබුනේ වෙන කාටවත් දෙන්නේ නෑ  කොපියක්. වේලාසනින් ඇවිල්ල කන්න ඕන නැත්තම් කෑම නෑ , මාසේ මුල චමරියට සල්ලි දෙන්න ඕන කෑවත් නැතත් මාසේට එකම ගාන තමයි. අපි ඉතින් නාහෙට අහන්නේ නැති නිසා කොහොමත් ඕව ගණන් ගත්තෙම නෑ. එක දවසයි මට පරක්කු වෙලා කෑම නැති වුනේ , එදායින් පස්සේ  ඒ චමරියෙන් කෑමත් නැවැත්තුවා අපි ටික දෙනෙක්.
ඔය ඇකෝමඩේෂන් එකේ හිටපු තව මල්ලිලා දෙන්නෙක් දවසක් රෑ වෙලා ඇවිල්ලා තියනවා  අඩියකුත් ගහල. දෙන්නට ටිකක් වැදිලත්  ඉඳල තියෙන්නේ. ආවට දොරේ යතුරක් නැති නිසා කව්රු හරි ඇහැරව ගන තමයි දොර ඇරවගන්න ඕන . එදා ඇකොමඩේෂන්  එකේ වැඩිය කට්ටිය ඉඳලත් නෑ , කොහොම හරි එක ස්ටෝකිපර් කෙනෙක් ඉඳල තියනවා , මිනිහ ටිකක් අහිංසක කන්නේ බොන්නෙත් නැති චරිතයක්. දොරට ගහල වැඩිය සද්ද බද්ද කරන්නත් බෑ වටේම මුස්ලිම් ගෙවල් නිසා , මුන් දෙන්න කොහොම හරි අර ස්ටෝකිපර්ගේ ෆෝන් එකට කෝල් කරලා කරලා ඇහැරවගන තියනවා, මිනිහත් නිදිමතේ ඇවිල්ල දොර ඇරලා දීලා , අරුන් දෙන්න ඉතින් ගෙට ඇවිල්ල දොර වහල ලොක් කරලා නිදාගන.

උදේ කට්ටිය නැගිටලා වැඩට යන්න ලෑස්ති  වෙනකොට  අර ස්ටෝකිපර් ඉන්නවලු මුණ නිකම් කුණ්ඩ හට්ටියක් කරගන . අරුන් දෙන්නත් එක්ක කිසි කතාවක් නැතුව, බැරිම තැන අරුන් දෙන්න හෙමීට ගිහින් ඇහුවලු මොකක්ද වුනේ අයියේ කියල. මල පැනලා අර ස්ටෝකිපර් කිව්වලු මොකක්ද වුනේ , මං  එලියට බැහැල පොඩි චු පාරක් දාපු ටිකට තොපි දෙන්න මාව එලියට දාල දොර වහල නිදා ගත්තා , මං යන්තම් අර පේර ගහ දිගේ බඩගාලා කාමරේට ගියේ කියල. ආයේ   තොපි මැරුණත් දොරවල් නම් අරින්නේ නෑ කිව්වලු.

වැස්සත් අපිට හරහට

වහිනවට මම තාමත් කැමති නෑ  , අපි පරණ ගෙදර ඉන්නකොට වහින වෙලාවට  එලියට බැහැපු ගොනුස්සෙක්ව තලලා දැම්මම එන පිලී ගඳ තාමත් මගේ නහයට දැනෙනවා, වහලේ දිරපු රීප්ප නිසා පහත්  වෙච්ච උළුකැට අස්සෙන් වතුර වැක්කෙරෙන කොට බේසම් කෝප්ප වලන් ගේ ඇතුලේ තැන් තැන් වල තියන්න වෙනවා. නැත්තම් ඇන්කර් කවරයක් හරි කාර්ඩ් බෝර්ඩ් එකක් හරි උළු කැටේ  අස්සට රිංග වන්න වෙනවා. සමහර තෙමෙන තැන නම් කොස්සේ මිටෙන් උළු කැටේට ඇන්නහම හරියනවා.

වහිනකොට වේයොත් ඕවර් ටයිම් කරනවද කොහෙද , කොහෙන් හරි මතුවෙලා අපේ පොත් රාක්කෙ ආක්‍රමණය කරනවා , නැත්තම් රෙදි තියන තැනක් අල්ලගන්නවා. සොල්දරේ තිබුන අපේ පුස්තකාලේ වගේ පොත් ටිකයි පරණ විදුසර පත්තර ටිකයි ඔක්කොටම වග කිව්වා වේ හමුදාව.

වැස්සත් එක්ක  ගෝනුස්සෝ පත්තෑයෝ කුනකටුවෝ මාපිල්ලු ගේ අස්සට රිංගනවා , එක්කෝ දොරේ තිබුන හිල් අස්සෙන් හරි කුස්සියේ මැටි බිත්ති දිගේ ලේසියෙන්ම උන්ට ගේ ඇතුලට එන්න පුළුවන් . එහෙම අහුවෙලා මරල දාපු සත්තු කොච්චරද මන්ද .
කොච්චර ආවත් එකෙක්වත් අපි කවුරු වත්ව කෑවේ නැති එකනම් පුදුමයි.

ගෙදර තිබුන එකම ඇඳේ තාත්තා නිදාගත්තා ඉන්න දවසට අයියා මේස යට , මායි අම්මයි නංගියි අක්කයි කාමරේ බිම නිදාගත්තේ. වහිනකොට පොලොව තව සීතලයි . වැරදිලා හරි පැදුරෙන් එලියට අතක් පයක් ගියෝතින් සීතලට ඇහැරෙනවා.

වැහි දවසට ස්කොලේ ඇඳුම් තෙමාගන ගෙදර එන එක සාමාන්‍ය දෙයක් අපිට, තිබුනේ උපරිම සුට් දෙකයි දවස් දෙකක් පිට පිට වැස්සොත් වේලාගන්න එක අමාරු වැඩක් , වහින වෙලාවට ඉස්තෝප්පුව විතරයි තිබුනේ රෙදි දාන්න එකටත් හිරිකඩ ගහනවා . උදේ වෙනකොට ඇදුම් වේලිලා නැත්තම් පොල්කටු ඉස්තිරික්කේ පිහිට තමයි. තෙත ඇඳුම් වලට ඉස්තිරික්කේ තියනකොට චාස් ගාල සද්දෙත් එක්ක වාෂ්ප පිටවෙනවෙන්නේ අමුතු හුමාලෙකුත් එක්ක , තාම මට පුළුවන් නහයට  ඒ හුමාලේ මතක් කරගන්න. පොල්කටු ඉස්තිරික්කේ පිටිපස්සේ තිබුන හිලෙන් සමහර වෙලාවට ගිනි අඟුරු ඇදුම් වලටත් වැටෙනවා , හැම ඇඳුමකම ඒවගේ පිච්චුන තැනක් නැති වුනේ නෑ.

පරණ ගෙදරින් අපි ලෑලි ගෙදර පදිංචියට ගියාට පස්සේ වැස්ස විතරක් නෙවෙයි හුළඟත් අපිට කෝචෝක් කරා . වහලට තිබුන තාර ෂීට් හුළගත් එක්ක අනිත් පැත්තම ගහනවා . වහලට නගින්න කෙනෙක් හිටියේ මං  විතරක් නිසා වැස්සේම වහලට නැගලා තාර ෂීට් එක හරිගස්සන්න වෙනවා මට මුළු ගේම තෙමිලා විනාස වෙන්න කලින්. ඒ වැඩේ හැමදාම කරන්න බැරි නිසා  ටකරන් තහඩු ටිකක් ගෙනල්ල තාර ෂීට් එකට උඩින් ගැහුවා පස්සේදී.

බාල්දු කථා

ලව් ලොක්

  මේ  තියෙන්නේ  මං දවස ගානෙ  උදේ හවස වැඩට  යන එන පාරේ තියන පාලමක ඇන්ද. මේක පයින් යන මිනිසුන්ටයි පුට්බයිසිකල් වලටයි විතරක් තියෙන පාලමක්. පාලම...