තලවකැලේ දෙහිඅත්තකන්ඩිය වව්නියාව

 
නුවර එළියෙන්  පස්සේ මට දුරකට යන්න යන්න වුනේ අයෙත් තලවකැලේට , අලුත් කොම්පැනියක අලුත් ජොබ් එකකට මුලින්ම තලවකැලේට ආවේ මං කෝච්චියෙන් තව යාලුවෙක් එක්ක , උදේ 5ට කොළඹින් පිටත් වෙලා දවල් 1 විතර වෙනකොට තලවකැලේට ආවේ. අපි නැවතුනේ ඉහල කොත්මලේ ප්‍රොජෙක්ට් එකෙන් අලුතෙන් හදපු ගෙදරක, නුවර එලිය තරම් සීතලක් තිබුනේ නැති වුනාට , නුවර එළියේ තරම් පහසුකම් තිබුනේ නෑ . 
පොඩි සයිට් එකක් නිසා අපි දෙන්නට ඔක්කොම වැඩ ටික බලාගන්න වුනා , මන් තමයි අකවුන්ට්ස් HR වැඩ ටික බැලුවෙත්. සයිට් එකේ වියදමට සල්ලි දුන්නේ දවස ගානේ කොම්පැනියෙන්  , සල්ලි දැම්මේ මගේ අකවුන්ට් එකට ,මගේ අකවුන්ට් එක තිබුනේ කොමෂල් බැංකුවේ , තලවකැලේ එදවස් වල කොමෂල් බැංකුවක් තිබුනේ නැති නිසා මට දවස ගානේ හැටන් වලට යන්න වුනා සල්ලි ගෙන්න , නුවර එලිය හැටන් බස් නෝමල් බස් තලවකැලේ ඉඳන් හැටන් වලට පැයකට වඩා  යනවා ,AC බස්  විනාඩි හතලිහකින්  වගේ යනවා , AC කිව්වට ඒවා හයියෙන් යනවා විතරයි අමුතුවෙන් AC දාන්න දෙයක් නැනේ වීදුරු ඇරගන යන්න විතරයි ඕන. 
ගෙදර යන්න එන්නත් ඉතින් පරණ ක්‍රමේම තමයි මං පාවිච්චි කරේ, කෝච්චියේ පැය හතක්  විතර යන එක බස්  එකේ පැය පහකින්  විතර යන්න පුළුවන් . තලවකැලේ කොළඹ බස් තිබුනේ CTB විතරයි, මන් ගියේම කොළඹින් රෑ දහයට තියන බස් එකේ  ඒක තලවකැලේට එන්නේ පාන්දර 3ට විතර , ගොඩක් වෙලාවට හැටන් වලින් එහාට යන්න ඉන්නේ මාත් තව කීපදෙනෙකුත් විතරයි. AC එකක් විනාඩි 40ක් යන දුර අර CTB එක විනාඩි 20 කින් වගේ යන්නේ, ඒ දවස් වල හැටන් ඉදන් නුවරඑලියට පාර කාපට් කරලා  තිබුනේ නෑ ,සුද්දගේ කාලේ හදපු එකද කොහෙද තිබුනේ . බස් එකේ තියන හැම හිලකින්ම හීතල හුළඟ විදිනවා හරියට කොම්ප්‍රෙෂර් එහෙකින් වගේ අර යන ස්පීඩ් එකට. මරු විකාරෙන් වගේ ඩ්‍රයිවර් යන්නේ . වංගු වලදී අපි ෂීට් එකේ ඒ කොනේ මේ කොනේ වදිනවා , CTB වල ෂටර් එකේ තියන අල්ලන කෑල්ල ඔලුවේ කන ගාව වදිනවා හෙන ගහන්න වගේ ,අපිත් නිදිමතෙනේ ඉන්නේ, 

තලවකැලේ ඉඳන් මට හදිසි මාරුවක් හම්බු වෙනවා දෙහිඅත්තකන්ඩියට , එතකොට මං ඒක ලංකාවේ  කොහෙද තියෙන්නේ කියලවත් දැනගන හිටියේ නෑ, කොහොම හරි මට කිව්වා බදුල්ලට යන්න එහෙන් බස් තියනවා කියල, තලවකැලේ ඉඳන්  බදුල්ලට යන්නත්  ලේසි නෑ , නුවර එලියට ගිහින් වැලිමඩට ගිහින් එහෙන් බදුල්ල බස් එකක් ගන්න ඕන , මගේ වෙලාවට හැටන් වලින් තිබුනා කතරගම බස් එකක් එකෙන් මට කෙලින්ම කුඹල් වෙල හන්දියටම යන්න පුළුවන් , ඒ කියන්නේ බණ්ඩාරවෙල බදුල්ල පාරෙන් ඇල්ල පාරට හරවන තැන . මං එකේ ගිහින් කුඹල් වෙලින් බැහැල එතනින් බදුල්ලට ගියා , යනකොට එක බස් එකක් තිබුනා දෙහිඅත්තකන්ඩියට , මං හිතන්නේ මං විතරයි කෙලින්ම දෙහිඅත්තකන්ඩියට ටිකට් එකක් ගත්තේ ඒ බස් එකේ . හවස දෙකට විතර පිටත් වුන බස් එක දෙහිඅත්තකන්ඩියට ගියේ රෑ අටට විතර . බදුල්ලෙන් නැගපු මිනිස්සු ඔක්කොම වගේ ඊළඟ ටවුන් එකෙන් බැස්ස අයෙත් ලෝඩ් වෙනවා ඒ මිනිස්සුත් ඊළඟ ටවුන් එකෙන් බහිනවා ඔයවගේ හත් අට සැරයක් මිනිස්සු නැගල බැස්ස යනකම්.  මීගහ කිවුල , තල්දෙන, මාපාකඩ වැව , කන්ද කැටිය, මහියංගනය , බතලයාය , ගිරාඳුරු කෝට්ටේ, සඳුන් පුර  ඒ තිබුන ටවුන් , හංදි  කීපයක් . 
 ඒ දවස් වල අපේ මස්සිනා ඇල්පිටිය ඩිපෝවේ බදුල්ල බස් එකේ වැඩ කරපු නිසා මං ටික කාලයක් එයත් එක්කම එයා උදේ වැඩට යනගමන් ඇල්පිටියට ගිහින් එයත් එක්ක නොමිලේ බදුල්ලට ගිහින් අර බස් එකේ කීප සැරයක් ගියා , උදේ 4 ඉදන් රෑ 8 වෙනකම් බස් එකේම යන එන මට තිත්ත වුනා ඉක්මනටම. පස්සේ මං මගේ පුරුදු රෑ චාරිකාව තෝර ගත්තා දෙහිඅත්ත කණ්ඩියේ යන්නත් කොළඹ හරහා . 
දෙහිඅත්ත කණ්ඩිය  බස් එකත් තිබුනේ රෑ  10ට පිටකොටුවෙන් මං ගෙදරින් කොළඹට රෑ වෙන්න ඇවිල්ල 10 බස් එක අල්ල ගත්ත. ඒ දවස් වල දෙහිඅත්ත කණ්ඩිය ප්‍රයිවෙට් බස් ඔක්කොම එකම විදියට පේන්ට් කරලා තිබුනේ ඕන තැනකදී අඳුරගන්න පුළුවන් ඒ බස් එකක් තැඹිලි පාට ඉරි වගයක් ගහල තිබුනා, 

බස් එක යන්නේ පොලොන්නරුව හරහා, පැය 6ක් විතර යනවා රෑට යද්දී , ඒවත් අර වගේ තමයි මනම්පිටියේ මඩකලපු හංදියෙන් හැරෙව්වට පස්සේ යන්නේ විදලා, රෑට වෙන වාහනත් නෑ කෙලින් පාර නිසා ඩ්‍රයිවර්ට තියෙන්නේ අක්සලේටරේට කකුල තියාගන ඉන්න විතරයි, එතකොට මං සිද්ධිය දන්නා නිසා බෑග්  එකේ පත්තර කොළ ටිකක් දාගන යන්නේ හුලං විදින ගුල් වලට ඔබන්න.

රෑ 10ට කොළඹින් යන බස් එක දෙහිඅත්තකන්ඩියට යන්නේ උදේ 4ට ,එහෙදිත් ඉතින් මං බෝඩිමට ගිහින් පැය 2ක් විතර නිදාගන උදේට වැඩට යනවා.

ඔය ඉන්න අතරේ මට ආයෙත් මාරුවක් හම්බු වෙනවා වව්නියාවට , ඒ වෙනකොටත් මට ජොබ් එක එපා වෙලා තිබුනේ , මාස 2කින් පඩි හම්බුවෙලත් තිබුනේ නෑ . අපේ PM හිටියේ අපේ සීනියර් අයිය කෙනෙක් නිසා එයත්  යන නිසාත් මං කැමති වුනා එහෙට යන්න තාවකාලිකව, අපේ සයිට් එකේ තිබුන වෑන්  එකෙන් තව වැඩ කරන මනුස්සයෙකුත් දාගන අපි වව්නියාවට ගියා, 
නවතින්න තිබුනේ වව්නියාවේ ටෝනිගල කියන හරියේ ගෙදරක. සයිට් දෙකක් තිබුනා එකක් මඩුකන්දේ අනිත් එක නම්පන්කුම් කියන හරියේ, චමරියක් තිබුනේ මඩුකන්දේ සයිට් එකේ මට වැඩ කරන්න වුනේ නම්පන්කුලම් සයිට් එකේ, උදේට මඩුකන්දට ගිහින් කාල ආපහු නම්පන්කුම් යන්න ඕන, එතන ඇලක් හදන්න තිබුනේ , ඔෆිස් එකක් තියා වැස්සට ඉන්නවත් තැනක් නෑ , මං  ඒ වෙනකොට වෙන කොම්පැනියකට ඇප්ලයි කරලා තිබුනේ. ඒ අතරේම මට ඒකෙන්  ඉන්ටව් එන්න කියලත් කිව්වා , ඒ වෙනකොට නම් මට හොඳටම ඇති වෙලා හිටපු නිසා ජොබ් එක , මං දවසක් නිවාඩු ඉල්ලගත්තා කොළඹ ගිහින් එන්න .
අපේ බෝඩිම තිබුනේ වව්නියාව ස්ටේෂන් එකට ටිකක් කිට්ටුව වාහනෙන් ආපු ගිහිපු නිසා මට එච්චර මතකයක් තිබුනේ නෑ දුර ගැන , රෑ දහයට වව්නියාවෙන් යන කෝච්චිය අල්ල ගන්න මං පයින්ම බෝඩිමෙන් පිටත් වුනා පයින්ම , ටික දුරක් ගියාම රේල් පාර හම්බුවෙනවා ඒක දිගේ උඩහට යන්න තියෙන්නේ ස්ටේෂන් එකට . ඒ දවස් වල කෝච්චි  ගියේ වව්නියාවට විතරයි,  එකෙන් ෂිට් එකක් අල්ල ගන්න එච්චර අවුලක් තිබුනේ නෑ , පයින් යන්න පටන් ගත්තට ටික දුරක් යනකොට තමයි මට තේරුනේ මං හිතුවට වඩා දුරයි කියල රේල් පාරේ එච්චර හයියෙන් ඇවිදින්නත් බෑ , දැන් වෙලාවත් කිට්ටුයි 10ට , මගේ කකුල් දෙක පනත් නෑ වගේ , වටේ පිටේ බල්ලොත් එලවන්න ගත්ත මාව , යාන්තම්  කෝච්චිය අදින්න කලින් යාගන්න පුළුවන් වුනා ස්ටේෂන් එකට, 
ඉන්ටව් එක ඉවර වෙලා ආපහු ආවේ  බස් එකේ පිට කොටුවෙන් වව්නියාව බස් ඕන වෙලාවක තියනවනේ, වව්නියාවට එනකොට රෑ වුනා ටිකක්, බස් ස්ටෑන්ඩ් එකේ ඉඳල බෝඩිමට ටිකක් දුර නිසා මං ත්‍රීවිල් එකක් ගත්තා යන්න , මතක විදියට ඩ්‍රයිවර්ට කියා කියා එක්කන් ගියා බෝඩිමට , ගියාට මට බෝඩිම තියන තැන හරියට මතක නෑ රෑ ත් නිසා හොයාගන්න අමාරුයි. රවුම් කීපයක් ගියාට පස්සේ බැරිම තැන අපේ ලොක්කට ඇහැරවල කෝල් එකක් අරගන ඩ්‍රයිවර්ට දුන්න තැන අහගන්න . අපි බලනකොට බෝඩිම ඉස්සරහින්ම කීප සැරයක් ගිහිල්ලා , හිතාගන්න බෑ තාප්ප එක්ක එකම විදියයි ගෙවල්. 
ඉන්ටව් එකෙන් මට එතන  ජොබ් එකට එන්න කියල කිව්වා  පුළුවන් තරම් ඉක්මනට ජොබ් එක තිබුනේ අම්පාරේ . මට මෙතන ඇති වෙලා තිබුන නිසා මාත් කැමති වුනා ඉක්මනට ජොයින් වෙන්න. 
එතකොට ඒ අප්‍රේල් මාසේ මුල, මාර්තු පෙබරවාරි පඩි දෙකම හම්බු වෙලා තිබුනෙත් නෑ , මං මගේ අවුරුදු  නිවාඩුව කලින් ඉල්ලා ගත්තා. ගෙදර ගිහින් එන්න අලුත් ජොබ්  එකට යන්න කලින්, රිසයින් දිදී ඉන්න වෙලාවක් තිබුනෙත් නෑ , 
මගේ සමහර බඩු තාම දෙහිඅත්ත කණ්ඩියේ යන්න කලින් එහෙට යන්නත් වෙනවා , මං  ඉන්නේ වව්නියාවේ, වැඩට යන එන ගමන් බැලුව යන්න ලේසි විදියක් , මන් දැක්ක බණ්ඩාරවෙල බස් එකක් තියනව ස්ටෑන්ඩ් එකේ මහියංගනේ හරහා යන, මෙහෙ තිබුන මගේ බඩු ටිකත් බෑග්  එකට දාගන ලොක්කට ගෙදර ගිහින් එන්නම් කියල මං ආයුබෝවන් කිව්වා වව්නියාවට. බණ්ඩාරවෙල බස් එක ගියේ අමුතුම පාරක වව්නියාව , මැදවච්චිය , අනුරාධපුර , දඹුල්ල , බකමුණ ඇලහැර හෙට්ටිපොල හරහා ගියේ, සමහර පාරවල් තාර දාපුවත් නැති ඒවා, කුඹුරු මැදින් එකෙන් ඇවිල්ල මන් මහියංගනෙට කලින් තියන බතලයාය හංදියෙන් බැහැගන දෙහිඅත්තකන්දියට යාගත්තා. 
එතන තිබුන මගේ ඉතුරු බඩු බෑග් එකට දාගත්ත මං ආපුහු එදා රෑම කොළඹ ආවා . 








No comments:

Post a Comment

බාල්දු කථා

ලව් ලොක්

  මේ  තියෙන්නේ  මං දවස ගානෙ  උදේ හවස වැඩට  යන එන පාරේ තියන පාලමක ඇන්ද. මේක පයින් යන මිනිසුන්ටයි පුට්බයිසිකල් වලටයි විතරක් තියෙන පාලමක්. පාලම...