හින්නි උක්කුං මාමාගේ ගෙදරට හොරු පැනලා

අපේ නෑයෙක් වෙච්ච හින්නි උක්කුං මාමා කසාද බැඳලා නෑ හිටියෙ එයාගේ නංගිත් එක්ක. නංගිගේත් ටිකක් ඔලුව හොඳ නෑ ගෙදරක හිටියේ නෑ කොයි වෙලාවකවත් පාරේම තමයි.
දවසක් මාම පොඩ්ඩක් වත්තට ගිහින් ගෙදරට එනකොට ඇරලා දාල ගිහිපු ගෙයි ඉස්සරහ දොර වැහිලා ලොක් වෙලත් එක්ක. පිටි පස්සේ දොර කොහොමත් වහල තිබ්බෙ. මොකක්ද උනේ කියලා කල්පනා කර කර දොර අරින්න හදන කොට. ඇතුලෙන් ඉඳන් කව්ද කියපි " දොර කඩන්න හදනවද පිස්සුද තමූසෙට" කියලා. මාම බැලුව කඩහඞ නංගිගේ නම් නෙවෙයි.
පිරිමි කඩහඞක්. අඳූරන්නත් බෑ. මාම බැලූව යකෝ මගේ ගෙට රිංගලා මට සද්දෙ දාන එකා මොකාද කියලා. හරි යන්නේ නෑ කියලා හිතපු මාම ගෙනාව පොල් ඔයන යකඩෙ දොර කඩන්න වත්. ඒ පාර ඇතුලේ ඉන්න එකා කියනවා " දොර කැඩුවොත් පොලීසි යනෝ" කියලා. ඩයකෝ මාම බලනව මමනේ පොලීසි යන්න ඕන මූ කියනවා ඌ පොලිසි යනවා කියලා. මිනිහට ෆුල් අන්දොස් වැඩේ දැන්. දැන් නම් මාමට ඌරු ජුවල්. තෝ ඔහොමම හිටු මං පොලිසිය ගේනකම් කියලා මිනිහා ගත්තා කෝල් එකක් 119 එකට. ඇතුලෙ හිටපු අපේ පොඩි අයියාට යතුරු හිලෙන් බලද්දී තේරිලා තව හිටියොත් නම් අලි ජංජාලයක් වෙන්නේ කියලා හෙමිහිට දොර ඇරගන එලියට ඇවිත්. පොඩි අයියා දැකපු හින්නි උක්කුං මාමට බනිනවද හිනා වෙනවද කියලා හිතාගන්න බැරි වුණා. "මේ වේ..ගේ පූතාද" කියල ඇහුවෙ පාරක් ගහන්න බැරි කමට. පොඩි අයියත් ඉතින් ඔය වගේ ටොපි දෙන්න උපන් ගෙයි හපනා බව දන්න නිසා මාම වැඩේ දූර දිග නොගිහින් ඉවසගත්තා.
වෙලා තිබූණේ අපේ පොඩි අයියා මොකක්ද උවමනාවකට හින්නි උක්කුං මාමා හම්බූ වෙන්න ගෙදරට එනකොට ගෙවල් දොරවල් හායි ගාලා ඇරල දාල මොකෙක් වත් හිටියේ නැහැලු. ගේ ඇතුලටත් ගිහින් බලලා එද්දී තමයි මාම එනව දැකල පොඩි විහිළුවක් කරන්න හිතිලා තියෙන්නේ. 

ඉරපඤ්ඤං ගම

මං තලවකැලේ වැඩකරේ ටික කාලයක් උනාට අමතක නොවෙන සිද්ධි  ගොඩක් හම්බ උනා.  පොඩි සයිට් එකක් වුන නිසා  ලොකු වැඩක් තිබුනේ නැහැ මට . තවත් යාළුවෙකුත් හිටපු නිසා මං කරේ මුදල් අංශයේ වැඩ. වියදම් සල්ලි මගේ එකවුන්ට් දවස ගානේ දැමමේ අපේ කොළඹ හෙඩ් ඔෆිස් එකෙන් . ඉතින් මගේ එකවුන්ට් එක තිබුන බැංකුවක් තිබුනේ හැටන් වල . මට දවස ගානේ හැටන් ගිහිල්ලා එන්න උනා  සල්ලි අරගෙන එන්න.
හැටන් නුවර එළිය බස් වැඩිපුර තිබබේ AC බස් . Ac කිව්වට ගාන ගත්තා විතරයි මොකො අමුතුවෙන් AC දාන්න දෙයක් තිබුනේ නැහැනෙ ඒ පාරේ.
එතකොට අපි නැවතිලා හිටියෙ  ඉහල කොත්මලේ ප්‍රෙජෙක්ට් මිනිස්සුන
 අලුතෙන් පදිංචි කරවපු හරියේ ගෙදරක. එතකොටත් ප්‍රොජෙක්ට් එකේ වැඩ යනවා.
එක දවසක් නුවර ඉඳන් අපට බඩු වගයක් එව්වා කොම්පැනි ලොරියක. ලොරියක් කිව්වට ඒක දරහැවක් , ආපු ඩ්‍රැයිවර් ට වෙනම ගානක් දෙන්න ඕන ඒක අරන් ආවට නුවර ඉඳන්. ලොරියෙ තිබුනෙත් පයිප්ප වගයක්. මේ යකා මේක පාර මැද හරවන්න  ගිහින් පාර හරහට නැවතිලා. ඉස්සර රෝද දෙක කාණුවකත් දාගන. අපි එතැනට යනකොට පොලිසියේන් එක ගෝරියි. මෙලෝ වාහනයක් යන්න බෑ පාරෙ. මේක ස්ටාර්ට් කරන්න අනිවායෙන් බැටරියක් කපල් කරල අල්ලන්න ඕන උනත් අපි ගාව තිබුණේ එස්කැවෙටරයක් විතරයි. දැන් එතකොට රෑත් වෙලා. කොහොම හරි කරුවලේම එස්කෑවේටරේ බැටරිය ගලෝගන ඇවිල්ලා කපල් කරලා යන්තම් දරහැව පැත්තකට දාගත්තා. එතකම් ඉතින් දෙපැත්තේන්ම ආපු වාහන කාරයෝ අපේ සනුහරේ මතක්කර කර හිටියා.
ඒකාලේම ඔය ඉහල කොත්මලේ ප්‍රොජෙක්ට් එකේ හිටියා මගේ යාලුවෙක්. මං මිනිහත් එක්ක  ඔය ඒරියා එකේ ටිකක් කරක්  ගැහුවා.
ඔය ඉහල කොත්මලේ පවර් ස්ටේෂන් තිබුණේ නියන්ගම්දොර කියන හරියේ. සෙන්ට් ක්ලෙයාර් ඇල්ල ගාවින් පටන් ගන්න ටනල් එකෙන් ආපු වතූර ටික පවර් ස්ටේෂන් හරහා කොත්මලේ ජලාශයට ගියේ එතනින්. තලවකැලේ ඉඳන් නියන්ගම්දොරට යන පාරේ තිබුණා ගමක් මඩකුඹුර කියලා.  ඇත්තටම ඒ පාරේම නෙවෙයි තිබුණේ මඩකුඹුර  , පාරෙන් පල්ලෙහා තිබුණේ  . මඩකුඹුරට වාහනයක් යනවා නම් කිලෝමීටර් විස්සක් විතර රවුමක් එන්න ඕන නාවලපිටිය පැත්තේන්. නැත්තම් තිබුන ෂෝට් කට් එක තමයි  පඩි අටසීයක් විතර නැගලා තලවකැලේ පාරට එන එක. මඩකුඹුර ගම තියෙන්නේ නිම්නයක පතුලේ  නැගෙනහිර පැත්තේනුයි බස්නාහිර පැත්තේනුයි මහා කඳු දෙකක් පිහිටලා තිබුනා. ඒක නිසා ගමට ඉර පෑව්වේ සීමිත වෙලාවක් විතරයි  උදේ 10ට පායන ඉර හවස 3 වෙනකොට බහිනවා. ඒක නිසා තමයි කට්ටිය මඩකුඹුරට ඉරපඤ්ඤ්‍ං ගම කියලා කිව්වේ. ගමේ කට්ටියට නම් පොඩ්ඩක් කට්ට පනිනවා ඒක කියන කොට.

ෆෝන් හොරා කව්ද හොරා

මං පානදුරේ වැඩ කරන කාලේ නැවතිලා හිටියෙ රත්මලානේ අක්කලගේ ගෙදර. වැඩ ඉවර වෙනකොට කොහොමත් හැමදාම ටිකක් රෑවෙනවා. රැට පානදුරේ ඉඳන් රත්මලානට එන්න නෝමල් බස් අඩු නිසා මං එන්නේම හුඟ වෙලාවට AC බස් වලම තමයි. ඔය පානදුර කොළඹ 100 බස් රූට් එක යන්නෙ පරණ පාරේ මොරටුවට වෙනකම්.
එක දවසක් ටිකක් වයසක අම්ම කෙනෙක් නැග්ගා පානදුර හොස්පිටල් ගාවින් බස් එකට මහ රෙදි පොට්ටනියකුත් එක්ක මොරටුවට යන්න. වෙලාවත් හතරහමාරට විතර ඇති. මේ අම්මා පානදුර ටවුන් එකේ රෙදි බිස්නස් කරන කෙනෙක්. බස් එකෙත් ලොකු සෙනගක් හිටියේ නෑ. පානදුරෙන් පරණ පාරේ ටික දුරක් යනකොට බස් එකේ වාඩිවෙලා හිටපු කොල්ලෙක් කෑගැහුව මිනිහගේ ෆෝන් එක නැති වෙලා කියලා. කට්ටිය කිව්ව බලන්න ඔය සීට් එක අස්සට වැටිලාද කියලා. මිනිහ අඩන්න වගේ කියනවා බැලූවා හැමතැනම ඇත්තේ නෑ කියලා. බස් එකේ කොන්දත් ඇවිල්ල දැන් ෆෝන් එකේ ටෝච් එක ගහගන සීට් අස්සෙයි බිමයි හොයනවා ෆෝන් එක. ඒත් නෑ. ෆෝන් එකේ අයිතිකාරයාත් බස් එකේ නැගිටගන එක එකෙනා ලගට ගිහින් හොයනවා ෆෝන් එක. මිනිහ අර අම්මා ඉන්න හරියේ ඉන්න කොට කව්ද කිව්ව ෆෝන් එකේ නොම්මරේ කියන්න රින්ග් කරල බලන්න කියන්න කියලා. දැන් ඔන්න ෆෝන් එකේ රින්ග්ස් සද්දෙ ඇහෙනවා. ඇහුනේ මිනිහා හිටපු කිට්ටුවෙන්ම තමයි. ලගම හිටියෙ අර රෙදි අම්මා නිසා මේ යකා කෑගැහුවා මෙයා ගාව තමයි ෆෝන් එක තියෙන්නේ කියලා. රෙදි අම්මාට මල පැනලා බනිනවා මූට. මේ යකාත් ගානක් නැතුව අර රෙදි මල්ල අදිනවා ඒකේ තමයි ෆෝන් එක තියෙන්නේ කිය කිය. අම්මාට දැන් මලේ මල "මං මේ විකුණන්න ගෙනාව රෙදි යකෝ ඕව ඔහොම බිම දැම්මහම මං කොහොමද විකුණගන්නේ" කිය කිය බනිනවා.
මුලු මල්ලම ඇද්දත් හොයාගන්න බැරි වුණා ෆෝන් එක. අම්මාගේ හැට්ටේ අස්සට අත දැම්මෙ නැති එක විතරයි අරූ. ෆොන් එක රින්ග්ස් යනවා එත් ඇත්තේ නෑ.
බස් එකේ ඩ්‍රයිවර්ට මේ නාඩගම බලන් ඉන්න බැරිම තැන නැවැත්තුවා බස් එක. ඔක්කෝටම බහින්න කිව්ව බස් එකෙන්. බැහැල දැන් රින්ග්ස් ඇරල බලන්න කියල කිව්ව.
ඔන්න දැන් එලියෙත් ෆෝන් එක රින්ග්ස් යනවා අරූ ඉන්න හරියෙන්ම. කට්ටියම දැන් ඌරු ජුවල් වෙලා හිටියේ රෑවෙලා පුලුවන් තරම් ඉක්මනට ගෙදර යන්නනේ මිනිස්සු AC බස් එහකට නගින්නෙත්. කට්ටිය අරූව වට කරගෙන චෙක් කරන කොට තමයි ෆෝන් එක හම්බුනේ. මිනිහගේ ඩෙනිමේ යට නවල තිබුණ වාටිය අස්සෙ තිබිල. දැන් ඉතින් මිනිහාට අයෙත් එතන ඉන්න බැරි වුණා මිනිස්සුන්ගේ කුණුහරුප අහගන්නෙ නැතුව. අර අම්මා නන්ස්ටොප් දෙස් තියනවා අරූගෙ පරම්පරාවටත් එක්ක. යන්තම් කට්ටිය බස් එකට ගොඩ වෙලා යන්න පිටත් වුනාට අර කොල්ලා නම් නෙවෙයි ආයේ බස් එකට නැග්ගේ. 

කොළඹ සවාරිය

මං හාපුරා කියලා ගෙන්දගම් පොළොව පෑගුවේ මට අවුරුදු 5 දී. ඒ මං හිතන්නේ 1988. නිකං කකා බිබී ගෙදර හිටපු මාව තාත්තා බයිසිකලේ දාගන එක්කන් ගියා තාත්තා එතකොට වැඩකරපු කොළඹට. තාත්තා නැවතිලා හිටියෙ කොල්ලුපිටියේ අපේ තව මාමා කෙනෙක් එක්ක. ඒක බොඩිමක්ම නෙවෙයි. වහල තිබ්බ නර්සීන් හෝම් එකක්. අර හිටපු මාමගේ ඇඳූනුම් කමකට තමයි එතන තාත්තාටත් ඉන්න හම්බවෙලා තිබ්බේ. වෙන කවුරුවත් හිටියේ නෑ ඒකෙ අපි තූන් දෙනා ඇරෙන්න. ටිකක් ලොකු බිල්ඩින් එකක් ඒක. එතකොටත් සමහර ඉස්පිරිතාල අයිටම් තිබුණා ඇතුලේ. ඇඳන් එහෙම. මාම නම් නිදාගත්තේ එයින් එහෙක. මං පුංචි නිසා තාත්තයි මායි බිම නිදා ගත්තේ. ඕක තිබීලා තියෙන්නේ ඩුප්ලිකේෂන් පාරේ අයිනේම. පස්සෙ තමයි ඕව දැන ගත්තේ. වටේටම තාප්පෙකුත් තිබුණා ගේට්ටුවක් එක්ක.
තාත්තා වැඩ කරේ බම්බලපිටියේ ගෝල්ඩන් ඊගල් ඒකේ එකව්න්ටන්ට් හැටියට . පරණ අය නම් දන්නවා ඒක. ඔය කොම්පැණියට අයිති පොඩි අයට ඉන් ඩෝ ෆන් ගේම් තියන තැනක් තිබුණා තාත්තාගේ ඔෆිස් එක ගාවම. . ලොකු අයටත් සමහර අයිටම් තිබූණා. හැම අයිටම් එකම වැඩ කරේ පහේ කාසියක් දැම්මාම, රුපියල් 5ට විනාඩි දහයක් විතර ප්ලේ කරන්න පුළුවන්. ආයේත් ඕන නම් තව පහක් දාන්න ඕන. තාත්තා දවල්ට ඔෆිස් එකේ වැඩ කරලා රෑට අරකේ කැෂියර් එකෙත් වැඩ කරා. ඒක ඇරලා තියෙන්නේ හවස 6 ඉඳන් රෑ 11 වෙනකම්. දවල් දවස මං අර ඉස්පිරිතාල බෝඩිමේ ඉන්නවා තනියම. හවසට තාත්තා ඇවිත් මාව එක්කන් යනවා අරකට. කැලේ දොලේ පැනල සෙල්ලම් කරපු මට මේක දෙවිය ලෝකේ ගියා වගේ. ඒ හැම අයිටම් එකේම තිබ්බ සල්ලි නොදා පාවිච්චි කරන ක්‍රමයක්. මට ඒක එතන හිටපු එක්කෙනෙක් කියල දුන්නා පලවෙනි දවසෙම. ඕක බලා ගන්න හිටයේ සුද්දෙක්. ඌ නැති වෙලාවට මං ඉතින් තියන ඔක්කොම අයිටම් ටික ප්ලේ කරනවා. රෑට කඩෙන් මොනව හරි කාල මායි තාත්තයි 11 න් පස්සේ පයින්ම යනවා ඉස්පිරිතාල බෝඩිමට. දවස ගානේ යන එන නිසා මට පාර හොඳට මතක තිබුණා.
දවල් දවස මං තනියම අර බෝඩිමේ හිටියේ. තාත්තා උදේට යන කොට ගේට්ටුව ලොක් කරල ගියා. මට ඉතින් කරන්න කිසිම දෙයක් නැහැ දවල්ට. පාර පේන්නේත් නෑ තාප්පෙ නිසා. මං කරන්නෙ තාප්පෙ ගාව ඇලවෙලා තිබිච්ච පොල් ගහකට ගොඩ වෙලා පාර බලා ගන ඉන්නවා. මාමා නම් බනිනවා කවුරු හරි උස්සගෙන යාවි කියලා.
ඔය ගෝල්ඩන් ඊගල් ව්‍යාපාරේ අයිති D C අබේවර්ධන මහත්තයා තාත්තා පුද්ගලිකව දැනගන හිටියා. ඒවගේම වැඩකරපු හැමෝටම හොඳට සැලකූවා. අපි හිටියේ නත්තල එනකම් බලාගන මොකද තාත්තට හම්බ වෙන හැම්පර් හින්දා. ඔය චීස්, බටර් සොසේජස්, සෝස්, ජෙලි, එක එක ජාතියේ කෑම ගොඩක් තිබුණා ඒකෙ. මං ඉතිං ඔය ඔක්කොම ජාති දැක්කෙත් කෑවේත් මුලින්ම තාත්තගේ හැම්පර් එකෙන් තමයි.
දවසක් මං කරපු පන්ඩිත වැඩක් නිසා තාත්තට හීන් දාඩිය දැම්මා. හැමදාම හවසට තාත්තා ආවත් එක දවසක් තාත්ත එන්න ටිකක් පරක්කු වුනා, රෑ වේගනත් ආපු නිසා මට බයත් හිතුනා මොකද කියලා. ඕන එකක් කියලා මං හිතුවා තාත්තා හොයාගෙන යන්න. ගේට්ටුව ලොක් කරල නිසා පැන්නා තාප්පයෙන්. මං දැන් යනවා පාර දිගේ, ඩේලි ගිහිපු නිසා පාර මතකයි මට. එතකොට 7 විතර වෙලා ඇති මං හිතන්නේ. ගාලු පාර පනින්නත් කවුද කෙනෙක් මට උදවු කරා. පාරත් පැනලා ටික දුරක් යනකොට මෙන්න එනවා තාත්තා ඉස්සරහට. මාව දැකපු ගමන් තාත්තා ඔලුවේ අත තියාගත්තා. කොරපු අති පන්ඩිත වැඩේ නිසා පහුවදාම මට ගෙදරට ට්‍රාන්සර් එකක් හම්බුනා.
තාත්තටත් වැඩි කල් එතන රස්සාව කරන්න හම්බුනේ නෑ. තාත්තා එතෙන්ට වැඩට දාපු කෙනෙක් කරපු හොර කමක් නිසා තාත්ත පැදුරටත් නොකිය එතනින් ආවා ගෙදර. අඩුම තරමේ ඉස්පිරිතාල බෝඩිමේ තිබ්බ ඇඳුම් ටිකවත් අරන් එන්න තාත්තා එතනට ගියේ නෑ. රස්සාව කොච්චර හොඳ වුනත් ආත්ම ගෞරවය ඊට වඩා තාත්තට වැදගත් වුනා. තාත්තා මොන නාඩගම් නැටුවත් මගේ ලෝකේ වීරයා උනේ ඒ වගේ වැඩ නිසා.
බඩගිනි උනාට සිංහයා තණකොළ කන්නේ නෑ.

බාල්දු කථා

ලව් ලොක්

  මේ  තියෙන්නේ  මං දවස ගානෙ  උදේ හවස වැඩට  යන එන පාරේ තියන පාලමක ඇන්ද. මේක පයින් යන මිනිසුන්ටයි පුට්බයිසිකල් වලටයි විතරක් තියෙන පාලමක්. පාලම...