කොළඹ සවාරිය

මං හාපුරා කියලා ගෙන්දගම් පොළොව පෑගුවේ මට අවුරුදු 5 දී. ඒ මං හිතන්නේ 1988. නිකං කකා බිබී ගෙදර හිටපු මාව තාත්තා බයිසිකලේ දාගන එක්කන් ගියා තාත්තා එතකොට වැඩකරපු කොළඹට. තාත්තා නැවතිලා හිටියෙ කොල්ලුපිටියේ අපේ තව මාමා කෙනෙක් එක්ක. ඒක බොඩිමක්ම නෙවෙයි. වහල තිබ්බ නර්සීන් හෝම් එකක්. අර හිටපු මාමගේ ඇඳූනුම් කමකට තමයි එතන තාත්තාටත් ඉන්න හම්බවෙලා තිබ්බේ. වෙන කවුරුවත් හිටියේ නෑ ඒකෙ අපි තූන් දෙනා ඇරෙන්න. ටිකක් ලොකු බිල්ඩින් එකක් ඒක. එතකොටත් සමහර ඉස්පිරිතාල අයිටම් තිබුණා ඇතුලේ. ඇඳන් එහෙම. මාම නම් නිදාගත්තේ එයින් එහෙක. මං පුංචි නිසා තාත්තයි මායි බිම නිදා ගත්තේ. ඕක තිබීලා තියෙන්නේ ඩුප්ලිකේෂන් පාරේ අයිනේම. පස්සෙ තමයි ඕව දැන ගත්තේ. වටේටම තාප්පෙකුත් තිබුණා ගේට්ටුවක් එක්ක.
තාත්තා වැඩ කරේ බම්බලපිටියේ ගෝල්ඩන් ඊගල් ඒකේ එකව්න්ටන්ට් හැටියට . පරණ අය නම් දන්නවා ඒක. ඔය කොම්පැණියට අයිති පොඩි අයට ඉන් ඩෝ ෆන් ගේම් තියන තැනක් තිබුණා තාත්තාගේ ඔෆිස් එක ගාවම. . ලොකු අයටත් සමහර අයිටම් තිබූණා. හැම අයිටම් එකම වැඩ කරේ පහේ කාසියක් දැම්මාම, රුපියල් 5ට විනාඩි දහයක් විතර ප්ලේ කරන්න පුළුවන්. ආයේත් ඕන නම් තව පහක් දාන්න ඕන. තාත්තා දවල්ට ඔෆිස් එකේ වැඩ කරලා රෑට අරකේ කැෂියර් එකෙත් වැඩ කරා. ඒක ඇරලා තියෙන්නේ හවස 6 ඉඳන් රෑ 11 වෙනකම්. දවල් දවස මං අර ඉස්පිරිතාල බෝඩිමේ ඉන්නවා තනියම. හවසට තාත්තා ඇවිත් මාව එක්කන් යනවා අරකට. කැලේ දොලේ පැනල සෙල්ලම් කරපු මට මේක දෙවිය ලෝකේ ගියා වගේ. ඒ හැම අයිටම් එකේම තිබ්බ සල්ලි නොදා පාවිච්චි කරන ක්‍රමයක්. මට ඒක එතන හිටපු එක්කෙනෙක් කියල දුන්නා පලවෙනි දවසෙම. ඕක බලා ගන්න හිටයේ සුද්දෙක්. ඌ නැති වෙලාවට මං ඉතින් තියන ඔක්කොම අයිටම් ටික ප්ලේ කරනවා. රෑට කඩෙන් මොනව හරි කාල මායි තාත්තයි 11 න් පස්සේ පයින්ම යනවා ඉස්පිරිතාල බෝඩිමට. දවස ගානේ යන එන නිසා මට පාර හොඳට මතක තිබුණා.
දවල් දවස මං තනියම අර බෝඩිමේ හිටියේ. තාත්තා උදේට යන කොට ගේට්ටුව ලොක් කරල ගියා. මට ඉතින් කරන්න කිසිම දෙයක් නැහැ දවල්ට. පාර පේන්නේත් නෑ තාප්පෙ නිසා. මං කරන්නෙ තාප්පෙ ගාව ඇලවෙලා තිබිච්ච පොල් ගහකට ගොඩ වෙලා පාර බලා ගන ඉන්නවා. මාමා නම් බනිනවා කවුරු හරි උස්සගෙන යාවි කියලා.
ඔය ගෝල්ඩන් ඊගල් ව්‍යාපාරේ අයිති D C අබේවර්ධන මහත්තයා තාත්තා පුද්ගලිකව දැනගන හිටියා. ඒවගේම වැඩකරපු හැමෝටම හොඳට සැලකූවා. අපි හිටියේ නත්තල එනකම් බලාගන මොකද තාත්තට හම්බ වෙන හැම්පර් හින්දා. ඔය චීස්, බටර් සොසේජස්, සෝස්, ජෙලි, එක එක ජාතියේ කෑම ගොඩක් තිබුණා ඒකෙ. මං ඉතිං ඔය ඔක්කොම ජාති දැක්කෙත් කෑවේත් මුලින්ම තාත්තගේ හැම්පර් එකෙන් තමයි.
දවසක් මං කරපු පන්ඩිත වැඩක් නිසා තාත්තට හීන් දාඩිය දැම්මා. හැමදාම හවසට තාත්තා ආවත් එක දවසක් තාත්ත එන්න ටිකක් පරක්කු වුනා, රෑ වේගනත් ආපු නිසා මට බයත් හිතුනා මොකද කියලා. ඕන එකක් කියලා මං හිතුවා තාත්තා හොයාගෙන යන්න. ගේට්ටුව ලොක් කරල නිසා පැන්නා තාප්පයෙන්. මං දැන් යනවා පාර දිගේ, ඩේලි ගිහිපු නිසා පාර මතකයි මට. එතකොට 7 විතර වෙලා ඇති මං හිතන්නේ. ගාලු පාර පනින්නත් කවුද කෙනෙක් මට උදවු කරා. පාරත් පැනලා ටික දුරක් යනකොට මෙන්න එනවා තාත්තා ඉස්සරහට. මාව දැකපු ගමන් තාත්තා ඔලුවේ අත තියාගත්තා. කොරපු අති පන්ඩිත වැඩේ නිසා පහුවදාම මට ගෙදරට ට්‍රාන්සර් එකක් හම්බුනා.
තාත්තටත් වැඩි කල් එතන රස්සාව කරන්න හම්බුනේ නෑ. තාත්තා එතෙන්ට වැඩට දාපු කෙනෙක් කරපු හොර කමක් නිසා තාත්ත පැදුරටත් නොකිය එතනින් ආවා ගෙදර. අඩුම තරමේ ඉස්පිරිතාල බෝඩිමේ තිබ්බ ඇඳුම් ටිකවත් අරන් එන්න තාත්තා එතනට ගියේ නෑ. රස්සාව කොච්චර හොඳ වුනත් ආත්ම ගෞරවය ඊට වඩා තාත්තට වැදගත් වුනා. තාත්තා මොන නාඩගම් නැටුවත් මගේ ලෝකේ වීරයා උනේ ඒ වගේ වැඩ නිසා.
බඩගිනි උනාට සිංහයා තණකොළ කන්නේ නෑ.

No comments:

Post a Comment

බාල්දු කථා

ලව් ලොක්

  මේ  තියෙන්නේ  මං දවස ගානෙ  උදේ හවස වැඩට  යන එන පාරේ තියන පාලමක ඇන්ද. මේක පයින් යන මිනිසුන්ටයි පුට්බයිසිකල් වලටයි විතරක් තියෙන පාලමක්. පාලම...