මස්තබාල්දුවක් වූ වැකේශන් එක

 මම ලංකාවෙන් ඩෙන්මාර්ක් බලා රැකියාව සඳහා පිටත් වූයේ 2019 ජූලි පලවෙනිදාය. පැය 14ක ගුවන් ගමනක් නිසාත් එහි  සම්පූර්ණ පිරිවැය මටම දැරීමට සිදුවන නිසාත් නිවාඩුකට ලංකාවට වසරකට  වරක් සීමා කිරීමට තීරණය කිරීමට  මට සිදුවිය.

ඉතාම අඩු ලාංකික ප්‍රජාවක් සිටින ඩෙන්මාර්කයේත් මම ගත කලේ ඉතාම හුදකලා ජීවිතයකි. මගේ කිසිම යහලු මිත්‍රයෙක් නෑදෑයෙක් දන්න කියන කිසිම කෙනෙක් දන්නා මානයක සිටියේ නැත. 

මුලින්ම මම 2020 අප්‍රේල් මාසයේ  කම්නිපැණියෙන් නිවාඩු සඳහා ඉල්ලුම් කලෙමි. ගුවන් ටිකට් පත් කල් ඇතුව  මිලදී ගැනීම ලාභ නිසා 2019 දෙසැම්බර් මස අගදී ලංකාවට යාමට සහ ඒමට එකවර ගුවන් ටිකට් පත මිලදී ගත්තේය.

2020 මාර්තු වන විට ලංකාවේ කොවිඩ් වසංගතය උත්සන්න වීම නිසා ගුවන් තොටුපළ  දින නියමයක් නොමැතිව වසාදමනු ලැබිණි. ලංකාවට පැමිණීමට දතකට මැදගන සිටි මට තිබුන තනිකම කාංසිය දෙගුණ තෙගුණ විය. නින්ද නොයෑම හිසරදයක් විය. 

නැවත ගුවන් තොටුපළ විවෘත කරන දිනයක් ගැන බලාපොරොත්තුවක් නොමැති හෙයින් මම මිලදී ගත් ගුවන් ටිකට් පත සඳහා නැවත මුදල් ඉල්ලුම් කලෙමි.

ඒ අතරම මම ලංකාවේ විදේශ අමාත්‍යාංශයේ සහ ස්ටොක්හෝම් නුවර පිහිටි තානාපති කාර්යාලයේ අදාළ ලියාපදිංචි වීම් සිදු කලේ ලංකාවට යෑමට අවස්ථාවක් ලබා ගැනීමටය. 

අපගේ  පසු වසරේ වාර්ෂික නිවාඩු ඊලඟ වසරේ අප්‍රේල් මසින් අවලංගු වන නිසා මගේ 2019 වසරේ නිවාඩු දින ටික තවදුරටත් ඉදිරියට ගෙනයෑමට විශේෂ අවසරයක් ලබා ගැනීමට සිදු විය. 2020 සැප්තැම්බර් මසදී ඩෙන්මාර්කයේ නිවාඩු රෙගුලාසි වෙනස් වූ නිසා 2020 සහ මගේ 2019 යේ නිවාඩු තවදුරටත් ඉදිරියට ගෙනයෑමට නොහැකි විය. 


2020 නොවැම්බර් මසදී මා ඇමතූ තානාපති කාර්යාලය දැනුම් දුන්නේ දින 3ක් ඇතුලත ජර්මනියේ ෆ්‍රෑන්ක්ෆට් සිට කොළඹට ගුවන් යානයක් ඇති බවත් යුරෝ 2500 මුදලක් ගුවන් ටිකට් පතට සහ ලංකාවේ හෝටලයක දින 14ක නිරෝධායනය සඳහා අවශ්‍ය බවත්ය. ඊට අමතරව දින 14 නිවසේ නිරෝධනයට අවශ්‍ය බව ද කියා සිටියේය. මම ඔවුන්ට දැනුම් දුන්නේ දින 28ක නිරෝධයනය වීමට මට රු. ලක්ෂ 10ක පමණ මුදලක් වියදම් කිරීමට අවශ්‍යය නැති බවයි. 


නත්තල් සමය සඳහා ඩෙන්මාර්කයේ දෙසැම්බර් 23 සිට ජනවාරි 3 දක්වා නිවාඩු දින විය. මගේ සියලු සගයන් තම තමන්ගේ රටවලට නිවාඩු ලබා යද්දී මම නවාතැනේ හුදකලා නිශ්ඵල දින 10ක් ගත කලේ ලංකා රජය ගුවන් තොටුපළ විවෘත කරන බව දෙසැම්බර් 24 වනදා නිවේදනය කිරීමත් සමගය. 

ඒ වන විට මගේ රැකියාවේ ඉන්දීය ජාතික සගයාද නිවාඩු ගොස් සිටි නිසා  මට නිවාඩු ඉල්ලුම් කිරීමට ඔහුගේ පැමිණීම තෙක් බලා සිටීමට සිදුවිය. 

මාගේ නිවාඩු නොලබා සේවය කිරීම ගැන මගේ ප්‍රධානියා සේම හිතවතුන්ද බෙහෙවින් කණගාටුවට විය. දීර්ඝ කාලයක් නිවාඩු නොමැතිව වැඩ කිරීමෙන් ආයතනයට පූර්ණ සේවයක් මගෙන් නොලැබෙන බව ඔවුන් අවබෝධ කරගෙන සිටියහ. 

ආයතනයේ සාමාන්‍ය රෙගුලාසි ඉක්මවා සති 5ක දීර්ඝ නිවාඩුවක් මාහට ලබා දීමට මගේ ප්‍රධානියා කාරුණික වූයේ සති 2ක නිරෝධයනය වීමට ලංකාවේ අවශ්‍යතාව බව මා දැනුම් දුන් නිසාය. රටවල් 30කට අධික සේවක පිරිසක් ඇති මගේ ආයතනයේ මෙවැනි රෙගුලාසි වලට මව්බිමේදී යටත් වීමට සිදුවූ එකම පුද්ගලයා මම වීමි. ඒවන විට මට අනුමත නිවාඩු ගණන 15 ක් වූ අතර නිරෝධයනය අවශ්‍යතාව ඇතුළුව සති 5ක නිවාඩුවක් සඳහා මට තවත් දින 15 වැටුප් රහිත නිවාඩු ලබා ගැනීමට සිදු විය. 

මේ වනවිට මගේ සහෝදරියගේ විවාහ ගිවිස ගැනීමත් සැලසුම් කරමින් සිටි අතර මගේ පැමිණීමේ දිනයක් අස්ථීර බැවින් ඒ සඳහා සියලු බරපැන දැරූ මා නොමැතිව එය සිදුකරන ලෙස දැනුම් දෙන්නට සිදු වූයේ වේදනාවෙනි. 

ඒ අතරතුර තානාපති කාර්යාලය හරහා මගේ මව්බිමායන  විදේශ අමාත්‍යාංශ අවසරය මට ලැබී තිබුණි. පෙර පරිදිම මම නැවත ගුවන් සමාගම් වෙබ් අඩවියෙන් ලංකාවට යෑමට සහ ඒමට ටිකට් පතක් මිලදී ගතිමි. ඒ ජනවාරි 23 වනදාටය ඒ රු ලක්ෂ 2කට වැඩි මුදලකටය. ජනවාරි 13 වනදා මම එමිරේට්ස් කොලඹ කාර්යාලයට ඊ මේල් පණිවිඩයක් මගින් මම මිලදී ගත් ටිකට් පතත් අමාත්‍යාංශ අවසරයත් ඔවුන්ගේ තහවුරු කිරීම සඳහා යවන ලදී. 

දින කීපයක් යන තුරු ප්‍රති උත්තරයක් නොලැබුණු නිසා මම මගේ සහෝදරයා ලවා එමිරේට්ස් කාර්යාලය ඇමතූ විට ඔවුන් දැනුම් දුන්නේ සිවිල් ගුවන් සේවා අධිකාරියේ අනුමැතිය ලැබී නැති හෙයින් මගේ ගුවන් ටිකට් පත වලංගු නැති බවයි. විදේශ අමාත්‍යාංශය මගින් මට එවනු ලැබූ ඊ මේල් පණිවිඩය අදාල සියලු රාජ්‍ය ආයතන සඳහා පිටපත් කර ඇති බව පැහැදිලිව දැක ගත හැකිව තිබියදීත් මම ඉතාම අසරණ වීමි. මම එවූ ඊමේල් පණිවුඩය එමිරේට්ස් කාර්යාලයේ ආදාල පුද්ගලයින්ට අතපසු වී මග ඇරී ඇති බව ඔවුන් කණගාටුවෙන් මට දැනුම් දෙන ලදී. 

එවන විට මම මගේ ගමන් මලු පිලියෙල කර රාජකාරි කටයුතු බාරදී මනසින් සම්පූර්ණයෙන්ම ගමනට සූදානම් වී සිටියෙමි. 

මට මීළඟ ගුවන් ගමනක් ලබා දිය හැක්කේ තව සතියකින් බවද එමිරේට්ස් මට දැනුම් දෙන ලදී. ජනවාරි 23 දාට ව්‍යාපාරික පන්තියේ හෝ අසුනක් හිස්ව ඇත්නමි අවස්ථාව ලබා දෙන ලෙස මා ඉල්ලා සිටියේ මුදලට වඩා මානසික අසහනය දුරුකර ගැනීමටය. 

මගේ මීලඟ අරමුණ වූයේ විකල්ප ගුවන් සේවයක පිහිට පැතීමයි. ඒ සඳහා  කටාර් ගුවන් සේවයේ මගේ මිතුරෙකු මගින් කොලඹ කාර්යාලය සම්බන්ධ කර ගැනීමට උත්සාහ කලද එය ව්‍යර්ථ වූයේ ලංකාවේ නිවාඩු දින කීපයක් පැවති නිසාත් අදාල පුද්ගලයන් කොවිඩ් ආශ්‍රිතයන් වී නිරෝධයනය වෙමින් සිටි හෙයිනි. 

නැවතත් එමිරේට්ස් ඇමතූ මම ජනවාරි 30 වන දිනට මගේ ටිකට් පත සකස් කර ගතිමි. මගේ නිවාඩු ඉල්ලුම් පතද නැවත වෙනස් කර සතියක් කල් දමා ගතිමි. 

මගේ මනස තවත් සතියක් රාජකාරි කිරීමට සකසා ගත්තේ ඉතාම අපහසුවෙනි. මගේ සගයෝද  ප්‍රධානියා ද මා කෙරෙහි අනුකම්පාවෙන් හැකිතාක් අවම ලෙස මාව රාජකාරි සඳහා යොදවා ගත්තේය. 

මට ඇත්තේ සෙනසුරු අපලයක්ම බව පසක් වූයේ ජනවාරි 27 වනදා ඩෙන්මාර්ක් රජය විසින් එමිරේට්ස් ගුවන් යානා පැමිණීම තාවකාලිකව තහනම් කළ පසුය. මගේ මනස උන්මත්තක වීමට ඉතාම ආසන්න බව මටම වැටහීගියේය. 

නැවත එමිරේට්ස් මට කනගාටුවට පල කරමින් කියා සිටියේ පෙබරවාරි 3 වන දිනට නැවත නව ගුවන් ගමන ලබාදිය හැකි බවයි. ඒ ඩුබායි හි පැය 17ක අතරමැදි කාලයක් සමගය. ඒ අවස්ථාවේ විකල්ප නොමැති නිසා එයද භාරගැනීමට සිදුවිය. පෙබරවාරි 3 වෙනිදා නැවත මට ඩෙන්මාර්කයේ රැඳී සිටීමට සිදු වුවත් නැවත රැකියාවේ නිරත වීමට මගේ මනස මට ඉඩ දුන්නේ නැත. දින 4ක් කාමරයට වී ගත කල මම පෙබරවාරි 3 වනදා සවස 2.20  කෝපන්හේගන් සිට  ඩුබායි බලා ගමන් කිරීමට ගුවන් යානයට ගොඩ වූයේ කොයි මොහොතක හෝ කිසියම් බාධකයක් මගේ ගමන වලකාවිය යන බලාපොරොත්තුවද  සමගය.

අධික හිම පතනය නිසා පැයක් පමණ කෝපන්හේගන් ගුවන් තොටුපලේ දී ගුවන් යානය ප්‍රමාද වූවත් කොළඹ බලා ගුවන් යානය මට තිබුණේ පසුදා සවස 5.00 පමණ බැවින් ඉන් බලපෑමක් මට සිදු නොවීය. 

රාත්‍රී 12.00 ඩුබායි වෙත ලගාවු මම පැය 17ක් ගතකිරීමට සුදුසු තැනක් සොයා ගුවන් තොටුපළේ ඔබ මොබ සැරි සැරුවෙමි. 

ඉතාම කාර්ය බහුල ස්ථානයක් වූ ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපළ විටෙක විවිධ ජාතිකයන්ගෙන් පිරී ඉතිරී යයි. පාකිස්තානය බලා ගුවන් යානා 2ක් තිබූ අවස්ථාවේ මුලු ගුවන් තොටුපලම ඔවුන්ගෙන් පිරී පැවතිණි. කොවිඩ් ආසාධිතයන් ඉහවහා ඇති ඩුබායිහි කොවිඩ් වසංගත මර්ධන මාර්ගෝපදේශ නොතකන පාකිස්තානුවන්ගෙන් බේරී සිටීමට මට ගුවන් තොටේ අන්තයක් සොයා ගැනීමට සිදු විය. 

තාවකාලික නින්දක් ලබා ගැනීමට සුදුසු අසුන් ගුවන් තොටේ තිබුණත් තෙහෙට්ටුවත් නොඉවසිල්ලත් නිසා නින්දක් ලබා ගැනීම අපහසු කාරියක් විය. 

සවස 2.00 පමණ මගේ ගුවන් යානයට අදාල පර්යන්තය දැනුම් දෙන ලදී. එය සොයා ගොස් එහි අසුනකට බරවී ගුවන් යානාවට  ඇතුළු වී මට බලාපොරොත්තුවෙන් කල් ගත කලෙමි. 

සවස 5.15 පමණ තරමක ප්‍රමාදයකින් පිටත්වූ යානය රාත්‍රී 10.45 කටුනායක ගුවන්තොටුපළට ලගා විය. 

ගුවන් යානයෙන් පිටතට පැමිණි මොහොතේ සිට පිටසක්වල ජීවීන් ලෙස අපව සැලකිලි දක්වන ලදී. තමන්ගේම මව්බිමේදී ලැබූ ප්‍රතිචාරය විදේශයකදී විදේශීකයෙකු ලෙසවත්  මට දැනී නැත. 

ආගමන විගමන කවුලුව වෙත පැමිණි විට තව පෝරමයක් පිරවිය යුතු බව මට දැන්වීය. එම පොරමයේ පැහැදිලිව සිංහල දෙමළ ඉංග්‍රීසියෙන් මෙය ශ්‍රී ලාංකිකයන් පිරවිය යුතු නැති බව සඳහන් වෙන අතර මා ඒ පිළිබඳ නිලධාරියා ගෙන් විමසූ විට දැන්වූයේ එය පරණ මුද්‍රණයක් බවයි. 

නිරෝධායන වීමට ගෙනයන ස්ථානය පිලිබඳ ව හමුදා නිලධාරීන්ගෙන් විමසූ අයට පමණක් දැනුම් දෙන ලදී. නිරෝධායන වන්නේ තනිවද යුගලවද යන්න එතැනදීම තීරණය කළ යුතු බව දන්වන ලදී. මෙපමණ දුක් ගැහැට විඳිමින් පැමිණි මට අවසාන මොහොතේ මුදල් ඉතිරි කිරීමේ අරමුණින් නොදන්නා පුද්ගලයෙක් සමග ගතකර අනවශ්‍ය  අවදානමක් ගැනීමට නොවුමනා විය. යම් යම් පුද්ගලයන් දැඩි ඉල්ලීම් සිදුකරත් මගේ ස්ථාවරය වූයේ තනිව විසීමයි. 
















No comments:

Post a Comment

බාල්දු කථා

ලව් ලොක්

  මේ  තියෙන්නේ  මං දවස ගානෙ  උදේ හවස වැඩට  යන එන පාරේ තියන පාලමක ඇන්ද. මේක පයින් යන මිනිසුන්ටයි පුට්බයිසිකල් වලටයි විතරක් තියෙන පාලමක්. පාලම...