අප්සෙට් දවස්

 ජීවිතේ සමහර දවස් තිබිල තියෙනවා ඔක්කොම රුවිතෙට සිද්ධ වෙන.

මේ එහෙම එක දවසක් 

ඒ දවස්වල වල මම වැඩ කරේ හැව්ලොක් ටවුන් එකේ අයිය වැඩ කරේ මාදිවෙල. අපි දෙන්නයි නංගියි අක්කයි හිටියේ රාජගිරියේ ගෙයක. 

අයියායි මමයි දෙන්නම වැඩට ගියේ අපේ වාහන දෙකෙන්. ඒ වෙනකොට මගේ වාහනේ සර්විස් කරන්න ඕන කිලෝමීටර් ගාන පැනල තිබුන නිසාත් අපි දෙන්නම වාහන සර්විස් කරේ තලවතුගොඩ තැනකින් නිසාත් එදා අයියා අරගත්තා මගේ වාහනේ ඔෆිස් යන ගමන් සර්විස් එකට දාගන හවසට අරන් එන්න කියල. 

මම අයියගේ වාහනේ අරගත්තා එදා, අපි හිටපු ගෙදර ඉඳන් ප්‍රධාන පාරට තියෙන්නේ හරිම පොඩි පාරක්. ඉස්සරහට වාහනයක් ආවොත් ආපහු ගෙදරටම රිවර්ස් කරන්න වෙනවා ඉඩ දෙන්න. රාජගිරියට වැටෙන ප්‍රධාන පාරත් ඒ වගේමයි. උදේට වාහන පෝලිමක් තියෙනවා කිලෝමීටරයක් විතර. ගෙදරින් එලියට වාහනේ දැම්මට පස්සේ අපහු එන ලේසි වැඩක් නෙවෙයි. 

ඉතින් මම අයියගෙ වාහනෙන් ඇවිත් ප්‍රධාන පාරට දැම්මට පස්සෙ තමයි දැක්කේ එයාගේ පර්ස් එක වාහනේ තියනව.  සාමාන්‍යයෙන් මම කලින් වැඩට යනව අයියා යන්නේ ටිකක්ය පරක්කු වෙලා මට දැන් ආපහු යන්නත්බෑ  ට්‍රැෆික් එක නිසා. කෝකටත් කියල වාහනේ නවත්තල මං කෝල් එකක් ගත්තා අයියාට කියන්න ටිකක් කලින් එන්න මං නවත්තන් ඉන්නවා කියලා. 

කෝල් ගන්නෙ කොහොම මගේ ෆෝන් එක ඩිස්කනෙක්ට් කරලානෙ. මොනව කරන්නද කියල ඉතින් මං වැඩට ගිහින් කාර්ගීල්ස් එකක් ඇරපු ගමන් බිල ගෙවල ෆෝන් එක ඇක්ටිව් කරගත්තා. ඒ කර ගන අයියට කෝල් එකක් ගත්තා විස්තරේ කියන්න. 

කෝල් එකට ආන්සර් කරේ අක්කා. ඒ කියන්නේ අයියා ෆෝන් එකත් ගෙදර දාල ගිහින් තියෙන්නේ. 

කොළඹදී ෆෝන් එකයි පර්ස් එකයි දෙකම නැතුව ඉන්නව කියන්නෙ ඉතින් කාන්තාරයක් මැද ඉන්නවා වගේ තමයි. එයා ගාව මගේ බැංකු කාඩ් එක විතරයි තියෙන්නේ සර්විස් එකට බිල ගෙවන්න දීපු. 

දැන් අයියට වෙච්ච වැඩේ කියන්නම්. මේ ටික දැනගත්තේ හවස ආවට පස්සේ. 

අයියා වාහනෙන් කෙලින්ම සර්විස් එකට ගිහින් ඒක දාල ඔෆිස් එකට එන්න බලනකොට තමයි පර්ස් එක නෑ කියලා දැකල තියෙන්නෙ. ඒ පාර එහෙනම් යාලුවෙක්ට කතා කරල ගෙන්න යන්න ඕන කියලා ෆෝන් එක බලන කොට ඒකත් නෑ. 

මගේ වාහනේ කැබියේ මං සාමාන්‍යයෙන් සල්ලි කීයක් හරි දාල තියෙනව ඔය වගේ වෙලාවට ගන්න. එයා ඒක දැකලත් නෑ. 

කොහොම හරි ත්‍රීවීල් එකක් නවත්තගන ඒකෙන් ඔෆිස් එකට ගිහින් යාලුවෙක්ගෙන් ඉල්ලගන හයර් එක දීල තිබුණේ. 

තව පොලිසියෙනුත් නැවැත්තුව නම් තමයි වැඩේ. ඇයි ලයිසන් එකත් පර්ස් එකේ මං ගාවනේ. 







මස්තබාල්දුවක් වූ වැකේශන් එක

 මම ලංකාවෙන් ඩෙන්මාර්ක් බලා රැකියාව සඳහා පිටත් වූයේ 2019 ජූලි පලවෙනිදාය. පැය 14ක ගුවන් ගමනක් නිසාත් එහි  සම්පූර්ණ පිරිවැය මටම දැරීමට සිදුවන නිසාත් නිවාඩුකට ලංකාවට වසරකට  වරක් සීමා කිරීමට තීරණය කිරීමට  මට සිදුවිය.

ඉතාම අඩු ලාංකික ප්‍රජාවක් සිටින ඩෙන්මාර්කයේත් මම ගත කලේ ඉතාම හුදකලා ජීවිතයකි. මගේ කිසිම යහලු මිත්‍රයෙක් නෑදෑයෙක් දන්න කියන කිසිම කෙනෙක් දන්නා මානයක සිටියේ නැත. 

මුලින්ම මම 2020 අප්‍රේල් මාසයේ  කම්නිපැණියෙන් නිවාඩු සඳහා ඉල්ලුම් කලෙමි. ගුවන් ටිකට් පත් කල් ඇතුව  මිලදී ගැනීම ලාභ නිසා 2019 දෙසැම්බර් මස අගදී ලංකාවට යාමට සහ ඒමට එකවර ගුවන් ටිකට් පත මිලදී ගත්තේය.

2020 මාර්තු වන විට ලංකාවේ කොවිඩ් වසංගතය උත්සන්න වීම නිසා ගුවන් තොටුපළ  දින නියමයක් නොමැතිව වසාදමනු ලැබිණි. ලංකාවට පැමිණීමට දතකට මැදගන සිටි මට තිබුන තනිකම කාංසිය දෙගුණ තෙගුණ විය. නින්ද නොයෑම හිසරදයක් විය. 

නැවත ගුවන් තොටුපළ විවෘත කරන දිනයක් ගැන බලාපොරොත්තුවක් නොමැති හෙයින් මම මිලදී ගත් ගුවන් ටිකට් පත සඳහා නැවත මුදල් ඉල්ලුම් කලෙමි.

ඒ අතරම මම ලංකාවේ විදේශ අමාත්‍යාංශයේ සහ ස්ටොක්හෝම් නුවර පිහිටි තානාපති කාර්යාලයේ අදාළ ලියාපදිංචි වීම් සිදු කලේ ලංකාවට යෑමට අවස්ථාවක් ලබා ගැනීමටය. 

අපගේ  පසු වසරේ වාර්ෂික නිවාඩු ඊලඟ වසරේ අප්‍රේල් මසින් අවලංගු වන නිසා මගේ 2019 වසරේ නිවාඩු දින ටික තවදුරටත් ඉදිරියට ගෙනයෑමට විශේෂ අවසරයක් ලබා ගැනීමට සිදු විය. 2020 සැප්තැම්බර් මසදී ඩෙන්මාර්කයේ නිවාඩු රෙගුලාසි වෙනස් වූ නිසා 2020 සහ මගේ 2019 යේ නිවාඩු තවදුරටත් ඉදිරියට ගෙනයෑමට නොහැකි විය. 


2020 නොවැම්බර් මසදී මා ඇමතූ තානාපති කාර්යාලය දැනුම් දුන්නේ දින 3ක් ඇතුලත ජර්මනියේ ෆ්‍රෑන්ක්ෆට් සිට කොළඹට ගුවන් යානයක් ඇති බවත් යුරෝ 2500 මුදලක් ගුවන් ටිකට් පතට සහ ලංකාවේ හෝටලයක දින 14ක නිරෝධායනය සඳහා අවශ්‍ය බවත්ය. ඊට අමතරව දින 14 නිවසේ නිරෝධනයට අවශ්‍ය බව ද කියා සිටියේය. මම ඔවුන්ට දැනුම් දුන්නේ දින 28ක නිරෝධයනය වීමට මට රු. ලක්ෂ 10ක පමණ මුදලක් වියදම් කිරීමට අවශ්‍යය නැති බවයි. 


නත්තල් සමය සඳහා ඩෙන්මාර්කයේ දෙසැම්බර් 23 සිට ජනවාරි 3 දක්වා නිවාඩු දින විය. මගේ සියලු සගයන් තම තමන්ගේ රටවලට නිවාඩු ලබා යද්දී මම නවාතැනේ හුදකලා නිශ්ඵල දින 10ක් ගත කලේ ලංකා රජය ගුවන් තොටුපළ විවෘත කරන බව දෙසැම්බර් 24 වනදා නිවේදනය කිරීමත් සමගය. 

ඒ වන විට මගේ රැකියාවේ ඉන්දීය ජාතික සගයාද නිවාඩු ගොස් සිටි නිසා  මට නිවාඩු ඉල්ලුම් කිරීමට ඔහුගේ පැමිණීම තෙක් බලා සිටීමට සිදුවිය. 

මාගේ නිවාඩු නොලබා සේවය කිරීම ගැන මගේ ප්‍රධානියා සේම හිතවතුන්ද බෙහෙවින් කණගාටුවට විය. දීර්ඝ කාලයක් නිවාඩු නොමැතිව වැඩ කිරීමෙන් ආයතනයට පූර්ණ සේවයක් මගෙන් නොලැබෙන බව ඔවුන් අවබෝධ කරගෙන සිටියහ. 

ආයතනයේ සාමාන්‍ය රෙගුලාසි ඉක්මවා සති 5ක දීර්ඝ නිවාඩුවක් මාහට ලබා දීමට මගේ ප්‍රධානියා කාරුණික වූයේ සති 2ක නිරෝධයනය වීමට ලංකාවේ අවශ්‍යතාව බව මා දැනුම් දුන් නිසාය. රටවල් 30කට අධික සේවක පිරිසක් ඇති මගේ ආයතනයේ මෙවැනි රෙගුලාසි වලට මව්බිමේදී යටත් වීමට සිදුවූ එකම පුද්ගලයා මම වීමි. ඒවන විට මට අනුමත නිවාඩු ගණන 15 ක් වූ අතර නිරෝධයනය අවශ්‍යතාව ඇතුළුව සති 5ක නිවාඩුවක් සඳහා මට තවත් දින 15 වැටුප් රහිත නිවාඩු ලබා ගැනීමට සිදු විය. 

මේ වනවිට මගේ සහෝදරියගේ විවාහ ගිවිස ගැනීමත් සැලසුම් කරමින් සිටි අතර මගේ පැමිණීමේ දිනයක් අස්ථීර බැවින් ඒ සඳහා සියලු බරපැන දැරූ මා නොමැතිව එය සිදුකරන ලෙස දැනුම් දෙන්නට සිදු වූයේ වේදනාවෙනි. 

ඒ අතරතුර තානාපති කාර්යාලය හරහා මගේ මව්බිමායන  විදේශ අමාත්‍යාංශ අවසරය මට ලැබී තිබුණි. පෙර පරිදිම මම නැවත ගුවන් සමාගම් වෙබ් අඩවියෙන් ලංකාවට යෑමට සහ ඒමට ටිකට් පතක් මිලදී ගතිමි. ඒ ජනවාරි 23 වනදාටය ඒ රු ලක්ෂ 2කට වැඩි මුදලකටය. ජනවාරි 13 වනදා මම එමිරේට්ස් කොලඹ කාර්යාලයට ඊ මේල් පණිවිඩයක් මගින් මම මිලදී ගත් ටිකට් පතත් අමාත්‍යාංශ අවසරයත් ඔවුන්ගේ තහවුරු කිරීම සඳහා යවන ලදී. 

දින කීපයක් යන තුරු ප්‍රති උත්තරයක් නොලැබුණු නිසා මම මගේ සහෝදරයා ලවා එමිරේට්ස් කාර්යාලය ඇමතූ විට ඔවුන් දැනුම් දුන්නේ සිවිල් ගුවන් සේවා අධිකාරියේ අනුමැතිය ලැබී නැති හෙයින් මගේ ගුවන් ටිකට් පත වලංගු නැති බවයි. විදේශ අමාත්‍යාංශය මගින් මට එවනු ලැබූ ඊ මේල් පණිවිඩය අදාල සියලු රාජ්‍ය ආයතන සඳහා පිටපත් කර ඇති බව පැහැදිලිව දැක ගත හැකිව තිබියදීත් මම ඉතාම අසරණ වීමි. මම එවූ ඊමේල් පණිවුඩය එමිරේට්ස් කාර්යාලයේ ආදාල පුද්ගලයින්ට අතපසු වී මග ඇරී ඇති බව ඔවුන් කණගාටුවෙන් මට දැනුම් දෙන ලදී. 

එවන විට මම මගේ ගමන් මලු පිලියෙල කර රාජකාරි කටයුතු බාරදී මනසින් සම්පූර්ණයෙන්ම ගමනට සූදානම් වී සිටියෙමි. 

මට මීළඟ ගුවන් ගමනක් ලබා දිය හැක්කේ තව සතියකින් බවද එමිරේට්ස් මට දැනුම් දෙන ලදී. ජනවාරි 23 දාට ව්‍යාපාරික පන්තියේ හෝ අසුනක් හිස්ව ඇත්නමි අවස්ථාව ලබා දෙන ලෙස මා ඉල්ලා සිටියේ මුදලට වඩා මානසික අසහනය දුරුකර ගැනීමටය. 

මගේ මීලඟ අරමුණ වූයේ විකල්ප ගුවන් සේවයක පිහිට පැතීමයි. ඒ සඳහා  කටාර් ගුවන් සේවයේ මගේ මිතුරෙකු මගින් කොලඹ කාර්යාලය සම්බන්ධ කර ගැනීමට උත්සාහ කලද එය ව්‍යර්ථ වූයේ ලංකාවේ නිවාඩු දින කීපයක් පැවති නිසාත් අදාල පුද්ගලයන් කොවිඩ් ආශ්‍රිතයන් වී නිරෝධයනය වෙමින් සිටි හෙයිනි. 

නැවතත් එමිරේට්ස් ඇමතූ මම ජනවාරි 30 වන දිනට මගේ ටිකට් පත සකස් කර ගතිමි. මගේ නිවාඩු ඉල්ලුම් පතද නැවත වෙනස් කර සතියක් කල් දමා ගතිමි. 

මගේ මනස තවත් සතියක් රාජකාරි කිරීමට සකසා ගත්තේ ඉතාම අපහසුවෙනි. මගේ සගයෝද  ප්‍රධානියා ද මා කෙරෙහි අනුකම්පාවෙන් හැකිතාක් අවම ලෙස මාව රාජකාරි සඳහා යොදවා ගත්තේය. 

මට ඇත්තේ සෙනසුරු අපලයක්ම බව පසක් වූයේ ජනවාරි 27 වනදා ඩෙන්මාර්ක් රජය විසින් එමිරේට්ස් ගුවන් යානා පැමිණීම තාවකාලිකව තහනම් කළ පසුය. මගේ මනස උන්මත්තක වීමට ඉතාම ආසන්න බව මටම වැටහීගියේය. 

නැවත එමිරේට්ස් මට කනගාටුවට පල කරමින් කියා සිටියේ පෙබරවාරි 3 වන දිනට නැවත නව ගුවන් ගමන ලබාදිය හැකි බවයි. ඒ ඩුබායි හි පැය 17ක අතරමැදි කාලයක් සමගය. ඒ අවස්ථාවේ විකල්ප නොමැති නිසා එයද භාරගැනීමට සිදුවිය. පෙබරවාරි 3 වෙනිදා නැවත මට ඩෙන්මාර්කයේ රැඳී සිටීමට සිදු වුවත් නැවත රැකියාවේ නිරත වීමට මගේ මනස මට ඉඩ දුන්නේ නැත. දින 4ක් කාමරයට වී ගත කල මම පෙබරවාරි 3 වනදා සවස 2.20  කෝපන්හේගන් සිට  ඩුබායි බලා ගමන් කිරීමට ගුවන් යානයට ගොඩ වූයේ කොයි මොහොතක හෝ කිසියම් බාධකයක් මගේ ගමන වලකාවිය යන බලාපොරොත්තුවද  සමගය.

අධික හිම පතනය නිසා පැයක් පමණ කෝපන්හේගන් ගුවන් තොටුපලේ දී ගුවන් යානය ප්‍රමාද වූවත් කොළඹ බලා ගුවන් යානය මට තිබුණේ පසුදා සවස 5.00 පමණ බැවින් ඉන් බලපෑමක් මට සිදු නොවීය. 

රාත්‍රී 12.00 ඩුබායි වෙත ලගාවු මම පැය 17ක් ගතකිරීමට සුදුසු තැනක් සොයා ගුවන් තොටුපළේ ඔබ මොබ සැරි සැරුවෙමි. 

ඉතාම කාර්ය බහුල ස්ථානයක් වූ ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපළ විටෙක විවිධ ජාතිකයන්ගෙන් පිරී ඉතිරී යයි. පාකිස්තානය බලා ගුවන් යානා 2ක් තිබූ අවස්ථාවේ මුලු ගුවන් තොටුපලම ඔවුන්ගෙන් පිරී පැවතිණි. කොවිඩ් ආසාධිතයන් ඉහවහා ඇති ඩුබායිහි කොවිඩ් වසංගත මර්ධන මාර්ගෝපදේශ නොතකන පාකිස්තානුවන්ගෙන් බේරී සිටීමට මට ගුවන් තොටේ අන්තයක් සොයා ගැනීමට සිදු විය. 

තාවකාලික නින්දක් ලබා ගැනීමට සුදුසු අසුන් ගුවන් තොටේ තිබුණත් තෙහෙට්ටුවත් නොඉවසිල්ලත් නිසා නින්දක් ලබා ගැනීම අපහසු කාරියක් විය. 

සවස 2.00 පමණ මගේ ගුවන් යානයට අදාල පර්යන්තය දැනුම් දෙන ලදී. එය සොයා ගොස් එහි අසුනකට බරවී ගුවන් යානාවට  ඇතුළු වී මට බලාපොරොත්තුවෙන් කල් ගත කලෙමි. 

සවස 5.15 පමණ තරමක ප්‍රමාදයකින් පිටත්වූ යානය රාත්‍රී 10.45 කටුනායක ගුවන්තොටුපළට ලගා විය. 

ගුවන් යානයෙන් පිටතට පැමිණි මොහොතේ සිට පිටසක්වල ජීවීන් ලෙස අපව සැලකිලි දක්වන ලදී. තමන්ගේම මව්බිමේදී ලැබූ ප්‍රතිචාරය විදේශයකදී විදේශීකයෙකු ලෙසවත්  මට දැනී නැත. 

ආගමන විගමන කවුලුව වෙත පැමිණි විට තව පෝරමයක් පිරවිය යුතු බව මට දැන්වීය. එම පොරමයේ පැහැදිලිව සිංහල දෙමළ ඉංග්‍රීසියෙන් මෙය ශ්‍රී ලාංකිකයන් පිරවිය යුතු නැති බව සඳහන් වෙන අතර මා ඒ පිළිබඳ නිලධාරියා ගෙන් විමසූ විට දැන්වූයේ එය පරණ මුද්‍රණයක් බවයි. 

නිරෝධායන වීමට ගෙනයන ස්ථානය පිලිබඳ ව හමුදා නිලධාරීන්ගෙන් විමසූ අයට පමණක් දැනුම් දෙන ලදී. නිරෝධායන වන්නේ තනිවද යුගලවද යන්න එතැනදීම තීරණය කළ යුතු බව දන්වන ලදී. මෙපමණ දුක් ගැහැට විඳිමින් පැමිණි මට අවසාන මොහොතේ මුදල් ඉතිරි කිරීමේ අරමුණින් නොදන්නා පුද්ගලයෙක් සමග ගතකර අනවශ්‍ය  අවදානමක් ගැනීමට නොවුමනා විය. යම් යම් පුද්ගලයන් දැඩි ඉල්ලීම් සිදුකරත් මගේ ස්ථාවරය වූයේ තනිව විසීමයි. 
















මං කැමති සිංදු

1.  සන්නාලියනේ
2.  සැදී රන් අබරණින්
3.  ආදරයේ රන් විමනේ
4.  මගේ නීල නෙතු සඟලින්
5.  සඳ කැන් වැසිලා
6.  සංගීත මඬලේ
7.  දුවිල්ලෙන් වත්සුණු
8.   සුමනෝ
9.  සිහින නෙලුම් මල්
10. වැහපන් මල් වරුසාවේ
11. කවුරුවත් නෑ  කවුරුවත් නැහැ
12. ඈත එපිට හිම කන්දෙන්
13  පුජාසනයේ ඔබ හිඳුවා
14  එදා වගේ අදත් පොද වැස්ස
15  හිම දියවී හිමාලයේ
16  අමර පෙම් ලතාවේ
17  මා ප්‍රාර්ථනා අශාවෝ
18  පොකුරු පොකුරු මල් සැණකෙළි
19  පුංචි පුතා මගේ ඉස්කෝලේ ගිය
20  ඔබ දෙපා දොවා බැතියෙන්
21  මේ සයුරු මානේ
22  මුතු කුඩ ඉහලන
23  අපි  හැඟුම් වලට ඉඩදී මොහොතක්
24  පාරමී දම් පුරමු අප දෙදෙනා
25  මගේ දෑස ඔබෙයි කියා
26  සඳ රාහු මුඛයෙහි
27  ගිමන් හරින දියඹ දිගේ 
28  සරසවියෙදි හෙට විතරයි 
29  එපා හිරු පායන්න අදින් පසු 
30  මේ ගඟ මේ දුරුකතර ගෙවා
31 කවදාද ආයෙ එන්නේ
32 



සොඳුරු මිනිසුන්ගේ තැනිතලාව

 විසි එක් වන ශතවර්ෂය වෙනකොට මිනිස්සු ගෝත්‍රික සමාජයෙන් මිදිලා සංස්කෘතික මිනිස්සු වුණා කියලා කොහොම කිව්වත් තාමත් මිනිස්සුන්ගේ අස්සේ අර ගෝත්‍රවාදී වනචාරී ගති ඕන තරම් තාමත් තියෙනවා ලංකාවේ නම් ඕන තරම් බලාගන්න පුළුවන් පාරකට බැහැපු ගමන්. 


එහෙම ගෝත්‍රික බවෙන් ඈත් වෙලා සංස්කෘතික මිනිස්සු බවට සාපේක්ෂව උපරිම වුන රටක් ගැන මම කියන්න යන්නේ. 

ලෝක සිතියමේ උත්තර ධ්‍රැවයට ආසන්නව යූරෝපානු ගොඩබිමට ජර්මනිය හරහා සම්බන්ධ වෙලා  තිබුනත් ඩෙන්මාර්කය වඩාත් සමීප වෙන්නේ ස්කැන්ඩිනේවියානු සංස්කෘතියට. යුරෝපය සහ ස්කැන්ඩිනේවියාව අතර පැහැදිලි සංස්කෘතික වෙනසක් තිබෙන බව දැනගන්න ටික කාලයක් එහේ ජීවත් වෙන්න ඕන. 

                                                                                                                                                    පැරණි රජ පෙලපතට උරුමකම් කියන දෙවනි මාර්ගතා රැජින වත්මන් සේනාධිනායක තනතුර හොබවයි. 






43 හැවිරිදි මෙත්තේ ෆ්‍රෙඩ්රික්සන් වර්තමාන අග්‍රාමාත්‍යවරියයි. 



ඩෙන්මාර්කය එහෙමත් නැත්නම් ඩෙන්මාර්ක් රාජධානියේ ප්‍රධාන දූපත් තුන වෙන්නේ ජට්ලෑන්ඩි, ෆිනන් සහ සීලෑන්ඩ්  ඊට අමතරව තරමක් දුරින් පිහිටි සුන්දර ෆාරෝස් දිවයිනත්, ලෝකයේ විශාලතම දූපත වෙන ග්‍රීන්ලන්තය අයිති වෙන්නේ ඩෙන්මාර්ක්  රාජධානියටම තමයි. 



ඩෙන්මාර්කය සම්පූර්ණයෙන්ම තැනිතලා රටක්, කඳු හෙල් ගංගා දිය ඇළි   වගේ දේවල් ඇත්තේම නැති තරම්. 

මිනිස්සු වගේම දේශගුණයත් හරිම සෞම්‍යයි. අධික වැසි, කුණාටු ගංවතුර නියග වගේ දේවල් නැහැ. ශීත සෘතුවට හිම පතනය සිද්ධ වුනත් එය ජන ජීවිතයට බාධා වෙන තරමට සිදුවන්නේ නැහැ. 

උතුරු අර්ධ ගෝලයේ තිබෙන රටක් නිසා පෘථිවියේ අංශක 23 1/2ක ඇලය හේතුවෙන් ශීත සෘතුවේ අඩු දිවා කාලයකුත් ගිම්හාන සෘතුවට වැඩි දිවා කාලයකුත් ලැබෙනවා. ශිත කාලයට උදෑසන 9:00පමණ නැගෙන හිරු සවස3:30 වන විට බැස යනවා. ගිම්හානට එය උදෑසන 4:00 සිට රාත්‍රී 11:00 දිගුවෙනවා. 

ඒ වගේම චුම්භක උතුරුට ආසන්න නිසා සියලු ලෝහ ස්ථිති විද්්‍යුත් ආරෝපණය ස්වභාවිකම සිදුවෙනව. ලෝහ පමණක් නොව රෙදි පිළි පවා ආරෝපණය සිද්ධ වෙනවා. එම නිසා සියලු උපකරණ, ලෝහ සවිකිරීම් පොළොවට සම්බන්ධ කිරීම අනිවාර්යයි. රාත්‍රීට වූල් රෙදි ඇල්ලීමේදී සියුම් විදුලියක් වැදිම සාමාන්‍යයි. කරුවල නම් විදුලි පැනීම දැක ගන්නත් පුලුවන්. 

රටේ සියලු මාර්ග ඉතාම විධිමත්ව ඉදිකරල තියෙන්නේ. දෙපසම පා පැදි මං තීරුවක් සහ පදික මංතීරුවක් තිබෙනවා. පා පැදි ඉතාම සුලභ ගමනාගමන ක්‍රමයයි. බාල මහලු ස්ත්‍රී පුරුෂ සියලු දෙනාම සතුව විවිධාකාර පා පැදි තියෙනවා. බැටරි මගින් ක්‍රියාකරන පා පැදි මෙන්ම. කුඩා විදුලි ස්කූටර ද බහුලයි. විදුලි ස්කූටර සමාගම් මගින් නගරයේ තැන තැන ස්ථාන ගත කර තිබෙනවා. දුරකථන යෙදවූමක් මගින් වෙන් කර ගන අපගේ ගමන් සඳහා ඒවා යොදා ගත හැකියි. ගමන අවසන් වූ පසු ආපසු ගෙනයෑම අවශ්‍ය නැහැ. සමාගම මගි න් රාත්‍රියට තැන තැන දැමූ ඒවා එකතු කර ගන යයි. 



මගී ප්‍රවාහන සේවා පවත්වාගෙන යන්නේ සෑම පුරවැසියෙකුටම පදිංචි ස්ථානයේසිට විනාඩි   පහක්දී ලගා විය හැකි පරිදිය. 

රටේ මව් බස ඩැනිෂ් වන අතර සාක්ෂරතාව 100%කි. මව්බසට අමතරව ඉංග්‍රීසි භාෂාව දන්නා වැඩිම ජනතා ප්‍රතිශතයක් සහිත රට වන්නේත් ඩෙන්මාර්කයයි. 

ඕනෑම රැකියාවක් සඳහා පුහුණුව රටේ අනිවාර්යවේ. බෝහෝ අය මේ නිසා එකිනෙකට වෙනස් විවිධ රැකියා සඳහා පුහුණුවක් ලබා තිබෙනවා . එම නිසා රැකියා වියුක්තිය අවමය. ඕනෑම අංශයක රැකියා අහිමි වූවන් සඳහා රජය මගින් මාස තුනක් දක්වා මාසික වේතනයක් ගෙවනු ලබයි. රජයේ හා පෞද්ගලික අංශයේ කියා වෙනසක් නැත. ජීවත් වීම සඳහා කුමන හෝ රැකියාවක් කිරීම අත්‍යවශ්‍ය වේ. වයස 16 පසු රැකියා කිරීමට අවසර ඇති අතර. දෙමාපියන් තවදුරටත් ලමුන් නඩත්තු කිරීම සිදු කරන්නේ නැත. 

රැකියා කරන සියලුම දෙනාට විශ්‍රාම වැටුපක් අනිවාර්ය නිසා මහලු විය කිසිවකුට බරක් නොමැතිව සිටිය හැක. 

වැඩකරන ජනතාවගේ වෘත්තිය සමිති ඉතාම ප්‍රබලය. කිසිදු සමාගමකට ඔවුන්ගේ රෙගුලාසි වලට පිටින් වැඩකල අපහසුය. සතියකට වැඩ කරන අවම පැය ගණන 37කි. වැඩි වන පැය ගනන් සඳහා අතිකාල ගෙවිය යුතුය. අතිකාල වැඩ ගැනීමට නම් දින 10 කලින් එ බව සේවකයින්ට දැන්විය යුතුය. 

රජයේ නිවාඩු ඇත්තේ අවම දින ගණනකි. දවසේ පැය අටක් වැඩ කිරීමත් පැය අටක් විවේක ගැනීමත් පැය අටක් නිදා ගැනීමත් ඩෙන්මාර්ක් ජනතාවගේ කැමැත්තයි. වසරකට සති පහක නිවාඩු කාලයක් ඕනෑම රැකියාවට හිමි අතර ලොව පස්වන ප්‍රබලම ගමන් බලපත්‍රය හිමි ඩෙන්මාර්ක් ජනයා ගිම්හාන කාලයට ලොව නන් දෙස සංචාරයට ප්‍රිය කරයි. තායිලන්තය ඔවුන්ගේ බහුලම සංචාරක අන්තයකි. 

ආයතන තුල ලොක්කෝ සහ පොඩ්ඩෝ නැත. ඇත්තේ තනතුරු පමණි. නිල ඇඳුම් ඇත්නම් ඒවා ආයතන ප්‍රධානියාගේ සිට පහලම සේවකයා දක්වා එක සමානය. ඇඳුම් යනු තරාතිරම මනින ඒකකයක් නොවන බව ඩෙන්මාර්කය ලෝකයට පෙන්වා දෙයි. 

රැකියා සඳහා කැමති ඇඳුමක් ඇඳීමට අවසර ඇත. ගිම්හානයේ අඳින්නේ  බොහෝ දෙනා කොට කලිසම්ය. 

නැති නම් ඉතාම සරල ඇඳුම් භාවිතා කරයි. ඇඳුම් නොමැතිව සිටිත් කිසිවකුට එය අදාල නැත. අනුන්ගේ දේවල් වලට හොට නොදා සීටීම ඩෙන්මාර්ක් ජනතාවගේ ප්‍රධාන ලක්ෂණයකි. 



ඩෙන්මාර්කයේ ශබ්ද කිරීම ඉතාම පහත් ක්‍රියාවක් ලෙස සලකයි. අවම වශයෙන්ත තවත් කෙනෙකුට උස්හඩින් බැන අඬ ගැසීම් සිදු නොවන තරම්ය. සවස 6:00 සිට උදෑසන 7:00 අතර  විශේෂ අවසරයකින් තොරව ඕනෑම ශබ්ද කිරීමක් තහනම් වන අතර නොවැලැක්විය හැකි හේතුවක් නම් එ බව කල් ඇතුව අසල්වැසි ජනතාවට කෙටි පණිවුඩයක් මගින් ලබා දිය යුතුය. ඒසඳහා විශේෂිත වෙබි අඩවියක් ඇත. 

ලෝකයේ අල්ලස දූෂණය හා අපරාධ අවම රටක් හැටියටත් වාර්තා වෙනව. විශේෂයෙන්ම රටේ මූල්‍ය කලමණාකරනය ඉතාම විශිෂ්ටයි. ගෙවීම් සඳහා මූදල් භාවිතා කිරීම ඉතාම අවමයි. ඕනෑම වෙළෙඳ සැලක් කාඩ් පත්  ගෙවීම පහසුකම් සහිතයි. වැටුප් ගෙවීම බැංකු ගිණුම් මගින් පමණක් සිදු කිරීම අනිවාර්ය අංගයක්. තමන්ගේ  වුනත් එකවර විශාල මුදලක් බැංකුවෙන් හෝ ටෙලර් මගින් ලබා ගැනීමෙන් පසු පැය කිහිපයකින්  පොලිස් ප්‍රශ්න කිරීමකට ලක්වන හේතුවක්. කිසිවෙකුට නිල නොවන ආදායම් තිබිය නොහැකිය. රටේ සියලු දෙනා බදු පද්ධතියට ඇතුලත්ව ඇත. ආදායමෙන් අවම 39% බදු වශයෙන් ගෙවිය යුතුය. බෝහෝ බහුජාතික සමාගම් ඩෙන්මාර්කයේ අවමව ඇත්තේ බදු වංචා කිරීමට නොහැකියාව නිසාය. 

ඩෙන්මාර්කයේ මූල්‍ය ඒකකය ඩැනිෂ් ක්‍රෝනයයි. දැන් ලංකා රුපියල් 51 පමණ වන අතර. කාසි ලෙස ඔරී 25,50 ක්‍රෝන 1,2,5,10,20 ත් නෝට්ටු ලෙස 50,100,200,500 ඇත. 

ඩෙන්මාර්ක් වැසියන් ඉතාම සුහදශීලී සහ ඉතාම ආචාරශීලීයි. ඒවගේම ඔවුන් ඉතාම නිරෝගී දිගු ජීවිත ගතකරනව. අව්ව වැස්ස හිම නොතකා උදේට හවසට ව්‍යායාම සඳහා දීවීම ඔවුන් ගේ අනිවාර්ය දින චර්යාවෙ කොටසක්, බාල මහලු සියලු දෙනාම. වයස 65 දීත් කඩිසරව රැකියා කරන ඕනතරම් පිරිස් ඩෙන්මාර්කයේදි බලා ගන්න පුළුවන්. 































ශුක්රා මාරයි

 


පහුගිය දවසක සිරස නාලිකාවේ විකාශය වේච්ච ලක්ෂපති වැඩසටහනේ මිලියන දෙක දිනා ගනිපු ශුක්රා සහෝදරිය පිළිබඳ සෑහෙන පෝස්ට් මුහුණ පොතේ තියෙනව දැකල තමයි මේක මට ලියන්න හිතුනේ.

ලක්ෂපති යනු ඇකඩමික යාන්ත්‍රණයක දැනුම මිනුම මනින වැඩ සටහනක් නොවන අතර රූපවාහිනී නාලිකාවක තවත් එක් වැඩසටහනක් පමණි.

තවත් අතකින් අධි තාත්වික වැඩසටහනකි. රේටින්ස් හෝ යූ ටියුබ් වීව්ස් වැඩි කර ගැනීම ඕනෑම නාලිකාවක පරම අවශ්‍යතාවකි. ඒ සඳහා ඕනෑම දෙයක් විකිණීමට ඔවුන් මැලි නොවෙති. 

ශුක්රා සහෝදරිය ගැන මට විවේචනයක නැත. 

සිංහල බෞද්ධ ජන විඥානය සහසුද්දෙන් දෙරණ දැන සිටියත් සිරසත් මඳක් දැනගන ඇති බව මට වැටහේ. 

ශුක්රා බහුතරයකට මාර වන්නේ ඇයගේ දැනුම පමණක් නිසා නොව මුස්ලිම් කෙල්ලෙක්ට ඇති සිංහල සාහිත්‍ය දැනුම නිසාය.

ඒ නිසා ක්ෂණිකවම ඇය අපේ ගොඩට දාගන්නෙමු. අපිට අනුව සියලු මුස්ලිම් කාන්තාවන් ඇය වගේ වෙනවාට අපි කැමතිය. සියලු අනෙක් ආගමිකයන් සිංහල කතා කරනවාට කැමැතිය. ධම්ම පදය උපුටා දක්වන විට විසිල් ගැසීමට කැමතිය. ඔබාමා බුදු පිළිමයට වඳින එකට කැමතිය. සතුන් බෝධියකට පිළිමකට වඳින කොට කැමතිය. 

සියලු දෙනා ඔවුන්ගේ ආගමික මතවාදයෙන් බැහැරව සිතනවාට කැමතිය. නමුත් සිංහල බෞද්ධයාට එය ආදාළ නැත. 

අපි දෙමළ කතා කරන්නට කැමති නැත. අහන් ඉන්න වත් කැමති නැත. පල්ලියක කෝවිලක සද්දයත් අරහංය. දෙමළ චිත්‍රපට පිස්සුවෙන් බැලූවත් දෙමළුන් සියලු දෙනාම කොටිය. 

බස් එහෙක කෝච්චියක දකුණේදී දෙමළ ජාතිකයන් කිප දෙනෙක් කතා කර යනවා නම් අප හිතෙන්නේ එක්කෝ අපිට බනිනවා නැත්නම් කුමන්ත්‍රණක් කරන බවයි. 

"ආනන්ද භවන් එකට වැදී තෝසෙ ගිලිනවා.. 

එලියට ඇවිදින් යාපනෙ දෙමළුන්ට බනිනවා.." 

ජනප්‍රිය බහුතර සිංහල බෞද්ධ ජන විඥානය යනු මෙයයි. 

ශ්‍රී ලංකා ක්‍රිකට් විනාශ කරන්නේ වෙනත් ආගමික බලවේගයක් බව සිතන්නට කැමතිය. විමල් වීරවංශ අනුව කොවිඩ් මල සිරුරු භූමදාන කමිටුව සිංහල බෞද්ධ නොවන ආගමික නිකායකට යටත් වී ඇත. 

රිෂාඩ් බදියුදීන් අපේ පරම සතුරාය. නමුත් ඉමිතියාස් අපේ එකෙකි. බදියුදීන් ධම්ම පද ගාථා කියන්නේ නැත. ඉමිතියාස් කියයි. අලි සබ්රි එවාකියන කලේ අපේ එකෙක් විය. තමන්ගේ ආගම වෙනුවෙන් පෙනී සිටින විට ක්ෂනිකව පරම සතුරෙක් කර දමන ලදි. 

සිංහල බෞද්ධ අපි ඉස්කෝලේ බුද්ධාගම දහම් පාසල් පොත් වල තිබුන දේකට එහා දන්නේ කීයෙන් කී දෙනෙක්ද. 

දහස් ගණනක් වන ත්‍රිපිටක සූත්‍ර වලින් පූර්ණ අදහස දන්නේ සූත්‍ර කීයකද. නමුත් කුරාණයේ තියන දේ මුස්ලිම් වරුන්ටත් වඩා අපි දනී. උන්ට උගන්වන්නත් ලෑස්තිය. 

සමහරුන්ට ත්‍රිපිටකය කටපාඩම් ඇත ඇට මාලය කරේය. ප්‍රභාකරන්ට මහත්තයා කිව්වොත් සරම කරට ගනී. 

ප්‍රභාකරන් නැමැති පුද්ගලයා මරා දමා ඇත නමුත් සංකල්පීය ප්‍රභාකරන්ට තවමත් පොහොර දමමින් සිටිමු. ප්‍රභාකරන්ව බිහි කළ මතවාදය අලු යට තවමත් තිබේ. එය සංසිඳීමට යන්නා NGO කාරයෙකි. 

අපි ලෝකයේ සියලු භාෂා වල පොත් පත් සිංහලට පරිවර්තනය කරයි නමුත් රටේ අනෙක් කෙලවරේ ලියවෙන  ලියවිල්ලක් පරිවර්තනය වෙන්නේ හාවා හඳ දකින්නාක් මෙනි. 


මට දෙමළ කතා කිරීමට බැරිවීම ගැන මම ලැජ්ජා වෙමි. පාසලේ දී එයට ඉඩක් නොසෑදූ අධ්‍යාපන බලධාරීන්ට සාප කරමි. 

ත්‍රිකුණාමලය ප්‍රදේශයේ මගේ දෙමළ මිත්‍රයෙකුට තම රජයේ පත්වීම් ලිපිය සිංහලෙන් ලැබූණූ විට පත්වු අසරණ භාවය මට කියා ඇත. සිංහල කතා කරත් කියවීමට නොදන්නා ඔහු පත්වීම් ලිපිය කියවා ගන්නට කෙනෙක් සොයා ගැනීමට සිදුවූ වෙහෙස නිසා 

තවදුරටත් සිංහල ආන්ඩුවක් ප්‍රාර්ථනා කරාවිද. 

තම නෑදෑයකුගේ (LTTEසම්බන්ද) අවමගුලට සහභාගි වූ පමණින් ත්‍රිකුණාමලයේ රජයේ ඉංජිනේරු වරයෙකුට මාස් පතා කොළඹ රහස් පොලිසියේ පෙනී සිටීමට නියම කිරීමෙන්  තවදුරටත් සිංහල ආන්ඩුවක් ප්‍රාර්ථනා කරාවිද. 

බලන්න "නිරංජනී ෂන්මුගරාජ" "මා නොවන මම" වැඩසටහන. සිංහලයාගේ  සිංහල කමින් උදුම්මා ගත් හිස කැලුම් ගෙනුත්. සංහිඳියාව යනු කුමක්ද යන්න නිරංජනී ගෙනුත් දැකිය හැකිය. 

මේ පරස්පර විරෝධී සිංහල බෞද්ධ ජනප්‍රිය මතවාදී සමාජයට ශුක්රා යනු මල් වෙඩිල්ලකි. එයින් පෝෂණය වන්නේ ඊනියා මතවාදයමය. 

ශුක්රා මාර කියන අයගේ රෙද්ද උස්සා බැලූ විට විල්පත්තු බේරගමු, බදුයුර්දීන් පන්නමු වැනි බෝඩ් කෑලි සොයා ගත හැක. 





























බාල්දු කථා

ලව් ලොක්

  මේ  තියෙන්නේ  මං දවස ගානෙ  උදේ හවස වැඩට  යන එන පාරේ තියන පාලමක ඇන්ද. මේක පයින් යන මිනිසුන්ටයි පුට්බයිසිකල් වලටයි විතරක් තියෙන පාලමක්. පාලම...