අඳුරු ජිවිත




පැට්‍රොල් මැක්ස් නැත්තම් පෙට්‍රෝමැක්ස්  ලාම්පුවට  අපි කියන්නේ ලයිට් එක කියලා. ගෙදරට ලයිට් ගන්න කලින් විශේෂ දවසකට විතරයි ලයිට් එක පත්තු කරේ , සාමාන්‍ය දවසට චිමිනි ලාම්පු දෙකකුත් කුප්පි ලාම්පු දෙකකින් ගෙදර එලිය වුනේ. හවස් වේගන එනකොට මම නැත්තම් නංගිගේ අනිවාර්ය රාජකාරියක් වුනේ ලාම්පු පත්තු කරන එක. තෙල් මදි ඒවාට අලුතෙන් ලාම්පු තෙල් දාල චිමිනි ලාම්පු වල දැලි බැඳිලා නම් සුද්ද කරන්න වෙනවා  . හුඟක් වෙලාවට ලම්ම්පු තෙල් ඉවරයි කියල දැන ගන්නෙත් ඒ වෙලාවට . අම්මගෙන් බැනුමුත් අහගන කඩේ යන්න වෙනවා  ඒ  වෙලාවට ඔක්කොම පැත්තක තියලා. කම්මැලි කමට අපි  පත්තර කොලේකින් පිහිදානවා චිමිනියේ ඇතුල , එත් දවස් දෙක තුනකට සැරයක් සබන් දාල හේදුවේ නැත්තම්  ලාම්පුවේ එලිය අඩු වෙනවා,





වැඩිපුරම චිමිනි බිඳ ගන්නේ අපේ පීල්ලට ගිහින් හෝදන කොට තමයි. බිත්තර කටුවක් වගේ හින්ද චිමිනියේ වීදුරුව ඒක බිඳෙන්න ඇත වැදුනත් ඇති හයියෙන්, චිමිනිය සම්පුර්ණ බිඳුනේ නැත්තම් තව ටිකක් කල් අපි පාවිච්චි කරනවා යට පැත්තෙන් බිඳුනොත් එතනට කාර්ඩ් බෝඩ් කෑල්ලක් සෙලෝ ටේප් වලින් අලවලා පාවිච්චි කරනවා උඩින් බිඳුනොත් නම් මුකුත් රෙපෙයාර් කරන්න බෑ රස්නෙට ගිනි ගන්න නිසා. චිමිනියේ කෑලි අඩුයි නම් දැලි බැඳෙන වත්  වැඩියි. එතකොට දවස් ගානේ හෝදන්නත් වෙනවා, කැඩිච්ච චිමිනි හෝදන එක ඊටත් වඩා අමාරු වැඩක් වීදුරුවට අත කපාගන්නේ නැතුව සුද්ද කරන එක වෙනම  ඉගන ගන්න ඕන.  රෑට ස්කොලේ වැඩක් කරන්න තියනවා නම් ලාම්පු පත්තු කරන එක අදාළ කෙනා කරන්න වෙනවා නැත්තම් ලාම්පුවක් අයිති කරගන්න ගෝරියක් දාගන්න වැඩක්.
චිමිනි ලාම්පුවේ ගාව  තණකොළ පෙත්තෙක් නැති වෙන්නේ කලාතුරකින් එහෙම නැත්තම් සලබයෙක් හරි චිමිනියේ රස්නේ නැති හරියේ වහලා ඉන්නවා . පුළුවන් උන් අරන් දැම්මට හුඟක්  උන් දැල්ලට  පිච්චිලා ජිවිතේ එතනම් ඉවර කරගන්නවා.


කුප්පි ලාම්පු තිබුනේ පොඩි විදුරු බෝතල් වලට මූඩිය හිල් කරලා බෙලෙක් පතුරක් රවුම් කරලා ගහලා එකෙන් රෙදි පටියක් රෝල් කරලා තිරේ විදියට ඇදලා ගෙදරම හදා  ගනිපු ඒවා. එලිය නම් චිමිනි ලාම්පුව තරම් නැති වුනාට ලේසියෙන් එහා මෙහා ගෙනියන්න පුළුවන් නිසා කුස්සියේ හුඟක් වෙලාවට කුප්පි ලාම්පු තමයි පාවිච්චි කරේ. ලිප පත්තු කරන්නත් තෙල් ටිකක් ගත්තේ කුප්පි ලාම්පුවෙන්ම තමයි . ආරක්‍ෂිත කුප්පි ලාම්පු කියල තිබුනා බල්බ් එක කඩලා ඒකට  බෙලෙක් පටි වලින් ෆ්‍රේම් එකක් දාල. අල්ලන්න කොක්කුත් එක්ක. තෝමස් අල්වා එඩිසන් ලාම්පුව වෙනුවට බල්බ් එක හැදුවම අපේ මිනිස්සු අයෙත් බල්බ් එක කඩලා එකෙන් ලාම්පුවක් හදලා.



රෑට පීල්ල ගාවට හරි වෙන මොකක් හරි එළියේ වැඩකට පාවිච්චි කරේ පන්දමක් , බෝතලේකට ලාම්පු තෙල් ටිකක් දාල පොල් මුඩ්ඩක් ගහනවා . සරින් සැරේ බෝතලේ අනිත් පැත්ත ගගහා පන්දම නිවෙන්න නොදී තියාගන්න ඕන , හුළඟට නිවෙන්නේ නැති නිසා ඒක ප්‍රයෝජනවත් වුනා එළියේ පාවිච්චියට. පාන්දර බස් එහෙකට පාරට යන්න වුනත් පාවිච්චි කරේ අපි ඒ වගේ පන්දමක්. යන ගමන් අරන් ගිහිල්ලා පාර ගාවදි කොහේ හරි අකුලක් අස්සේ ඔබලා යනවා. ආයේ රෑ  වෙලා එන්න වුන දවසක් තිබුනොත් අරගන යනවා. 
පැට්‍රොල්මැක්ස් එකක් හැම  ගෙදරකම වගේ ඒකාලේ තිබුනා . අපේ ගෙදර දෙකක් තිබුනා හැබැයි වැඩ කරේ එකයි කොයි වෙලෙත් , මොකද මං ස්පෙයා පාර්ට්ස් වලට  තමයි එකක් තියාගන තිබුනේ. ලයි එක  පත්තු කරන්නේ ඉතින් කලාතුරකින් මොකද සාමාන්‍ය ලාම්පු වලට දවසකට යන ලාම්පු තෙල් ප්‍රමානෙට වඩා තුන් හතර ගුණයක් ලයිට්  එකට යන හින්දා.
ලයිට් එකේ කොටස් කීපයක් අපේ වචන වලින් කිව්වොත් ටැංකිය නැත්තම් ගෙඩිය, පොම්පේ , හෙඩ් එක , පින් එක, මැටි කට්ටේ ,මැන්ටලේ  , පියන . චිමිනිය .
ලයිට්  එකේ චිමිනිය තනි වීදුරුවකින් නෙවෙයි හැදිලා තියෙන්නේ, වීදුරු පටි රවුමට තියලා යකඩ වළලු එකකින් උඩිනුයි යටිනුයි සම්බන්ද කරලා තියෙන්නේ. චිමිනි ලාම්පුවේ තරම් ඉක්මනට දැලි බැඳෙන්නේ නැති වුනාට එකත් සුද්ද කරන්න වෙනවා කාලෙකට සැරයක්, ලයිට් එක පත්තු කරන්න කලින් අලුතෙන් මැන්ටලයක් දාන්න වුවමනාය. අලුත් මැන්ටලය  විනාකිරි වල පොඟවාලා මිරිකලා ගත්තම වැඩි කල් පාවිච්චි කරන්න පුළුවන් තාත්තලා කියනවා , මැන්ටලේ ගැට ගහන්න තියෙන්නේ මැටි කට්ටේට මැටි කට්ටේ කියන්නේ හිල් හිල් තියන මූඩියක් වගේ එකක් හෙද එකේ යට තමයි එක හයි කරලා තියෙන්නේ.
මැන්ටලේ හරියට බැලන්ස් වෙන්න ගැට ගැහුවේ නැත්තම් පත්තු කරාට පස්සේ ඇදේට තියෙන්නේ එතකොට එක්කෝ තෙල් එන බටේ වැදිලා මැන්ටලේ  ඊළඟ සැරේ පත්තු කරන්න බැරි වෙනවා, ඊළඟට ටැංකියට තෙල් දාගන්න ඕන එකට විශේෂ පුනිලෙකුත් ගෙවල් වල තියනවා, පුනිලේ බටේ වගේ කෑල්ල ඇදේට තියෙන්නේ මොකද ටැංකියේ තෙල් දාන තැන තියෙන්නේ පැත්තෙන් නිසා. තෙල් දාගත්තට පස්සේ හුලන් ගහන්න ඕන ටැංකියට . පොම්පේ තියන ලෙදර් කෑල්ල පොල්තෙල් වල පොඟවල ගත්තම තමයි හොඳට හුලන් වදින්නේ , හුඟක් එවයි ප්‍රෙෂර් එක බලන්න මීටරයක් තියනවා , නැත්තම් අතට දැනෙන ගානට ගහනවා. ඊට පස්සේ තමයි තෙල් අරින්න තියන කරාමේ ඇරලා හෙඩ්  එකේ   තියන පින්  එක ගාව තෙල් විදින කොට ගින්දර ලන්කරන්න ඕන. තෙල් මැන්ටලෙටත් වැදිලා හෝස් ගාලා මහා ගිනි ජාලාවක් උඩට එනවා , ටිකක් වෙලා පත්තුවෙනකොට ටික ටික මැන්ටලේ ඇකිලිලා සුදුපාට වේගන යනවා, ගින්දරත් අඩුවෙලා සුදු එළිය විතරක් විහිදෙනවා, ටැංකියේ ප්‍රෙෂර් එක අඩුවෙනව කියන්නේ මැන්ටලේ   රතුපාට වේගන එනවා  එතකොට ආයෙත්  හුලන් ගහන්න වෙනවා, නැත්තම තෙල් ඉවර වෙලා එහෙම වුනොත් ඉතින් ලයිට් එක නිවලා මුලක් ඉඳන් පත්තු කරන්න වෙනවා.

ලයිට් එකේ එලිය වැඩි නිසා සත්තු සැහෙන ප්‍රමාණයක් එනවා , හුඟක් උන් යන්නේ නෑ ලයි එකට උඩින් පියාඹන්න ගිහින් පිච්චිලා ඇතුලටම වැටෙනවා.

පොඩි ලන්තරුමකුත් ගෙදර තිබුනා එත් ලන්තෑරුම් වල එලිය අඩු නිසා පාවිච්චි  වුනේ නෑ වැඩිය. මම උසස් පෙලට පාඩම් කරන කොට රෑට හිටපු මැටි ගෙදර තියාගත්තේ නම් ලන්තරුම , ලන්තරුමට සාපේක්ෂව තෙල් ගියේ සැහෙන්න අඩුවෙන් .

ස්මෝක් කොන්ට්‍රොලර්



මම කන්තලේ වැඩ කරපු දවස් වල අපිත් එක්ක වැඩ කරා මහත්තයෙක් නම ධුමපාල අපේ කන්සල්ටන්ට් ගාව ලැබ් එකට හිටියේ එයා. වයසක වුනාට හරි විනෝදෙන් හිටපු මනුස්සයා. ළමයි හිටියෙත් නැති නිසා ලඟින් ගෙයක් අරගන වයිෆ් එක්කම පදිංචි වෙලා හිටියේ. අපේ හිටපු ප්‍රංස කාරයෝ තමයි එයාට ඔහොම කතාකරේ ස්මෝක් කොන්ට්‍රොලර් කියලා විහිලුවට එයාගේ නම ඉංග්‍රීසියට පරිවර්තනය කරලා.
ධුමපාල මහත්තයා ටිකක් බිව්වම හොඳ හොඳ කතා කියනවා. එක දවසක් එයාලගේ කම්පනියේ කට්ටිය ට්‍රින්කෝ ගිහිල්ලා පාර්ටියකට ධුමපාල මහත්තයත් ටිකක් වැඩිපුර අරගන එදා.කට්ටිය ගිහින් තිබුනේ වෑන් එහෙක , එන ගමන් කට්ටිය ධුමපාල මහත්තයවත් ගේ ගාවින් බස්සගන  ගිහිල්ලා.
පහුවද උදේ ධුමපාල මහත්තය ඔෆිස් එකට ඇවිල්ල කියනවලු අහ්හ් මාර වැඩේ නේද වුනේ අපේ ගේ ගාව ඊයේ , වෑන් එක පෙරලුනා නේද කියල. එතකොට අනිත් කට්ටිය කිව්වලු වෑන් එක නම් එහෙමම තිබුනා හැබැයි බැස්ස ගමන් ඔයා බල්ටි දෙකක් ගහලයි ගෙදරට ගියේ කියල.
 තව දවසක් ඔහොම කට්ටිය සෙට් වෙලා ඒ වගේම ධුමපාල මහත්තයා ගේ ගාවින් බැස්සුවහම . මිනිහ කියනවලු මේක මගේ ගේ නෙවෙයි මේ වෙන කොහේද ගෙනත් දාලා කියලා. කට්ටිය කොච්චර කිව්වත් මේ එයාගේ ගේම තමයි කියල පිළිගන්නෙම නෑලු . පස්සේ ධුමපාල මහත්තයාම කිව්වලු හා එන්න කියන්නකෝ මේ ගෙදර ඉන්න ගෑණු කෙනාට ඒ අපේ නෝනා නම් මං පිළිගන්නම් කියලා මේ අපේ ගෙදර තමයි කියල. කට්ටිය යන්තම් නෝනව ඇහැරවගන පෙන්නුවට පස්සේ  ධුමපාල මහත්තයා කිව්වලු ආ හරි හරි මේ ඉන්නේ මගේ නෝනා තමයි දැන් මං යන්නම් කියලා.

බෝඩිම් ජිවිත 4



අපේ ඇකඩමික් ඉවර වෙලා අන්තිම ට්‍රේනින් එකට මන් ගිහිපු කම්පැනියේ මට හම්බුනේ මුලින්ම ඇල්පිටියේ ඌරගහ සයිට් එකක් . එතන නවතින්න තිබුනේ  ටිකක් ලොකු ගෙයක්  පාරෙන් ටිකක් ඇතුලට වෙන්න  . හිටපු සෙට් එක ටිකක් අමුතුයි . මම කලින් හිටපු අයත් එක්ක බැලුවම එච්චර වගකීමක් නැති ප්‍රොෆෙෂනල් නැති පිරිසක් තමයි හිටියේ, යාලුවෙක් විදියේ කවුරුත් හිටියේ නෑ . සමීරයි පෙරේරායි තමයි ටිකක් කල් යනකම් හරි ආශ්‍රය කරන්න හම්බුනේ යාළුවො විදියට. ළඟ ගෙදරක අන්කල් කෙනෙක් අපිට කෑම උයලා දුන්නේ. වැඩි කාලයක් ඒ වැඩේ අන්කල්ට කරන්න වුනේ නෑ , එයාගෙම හරකා එයාගේ පස්සට ඇනලා සැහෙන්න කාලයක් ඇඳේ ඉන්න වුනා . ප්‍රොජෙක්ට් එකට සල්ලි නැති නිසා ටික කාලෙකට් එකේ වැඩ නවත්තන්න වුනා , එකෙන් මටත් ඒ කම්පැනියේම වලස්මුල්ලේ සයිට් එහෙකට යන්න වුනා. එහෙ නවතින්න තිබුනේ කඩිගමුව කියන හරියේ ගෙදරක ඔෆිස් එකත් තිබුනේ එකෙමයි . මගේ ජිවිතේ හිටපු නරකම පළාත කිව්වොත් වැරදි නෑ මං ලංකාවේ පළාත් නමයෙමත් රටවල් දෙහෙකත් වැඩ කරලා තියනවා. ඒ තරම් ගෝත්‍රික මිනිස්සු කොහෙවත් හිටියේ නෑ .
දවසම වැඩ කරලා නවතින්න තියෙන්නෙත් ඔෆිස් එකේම වුනාම ඔලුවට කිසිම නිදහසක් නෑ . පුදුම ටෙන්ෂන් එකක් ඔලුවට ඒක. කොච්චර රෑ වෙනකම් වැඩ කරත් එළිවෙනකම් නිදා ගන්න බෑ  ඔෆිස් එකේ ගෑණු ටික එන්න කලින් නැගිටින්න ඕන . නැත්තම් ටොයිලට්  එහෙකටවත් යන්න බෑ .
මගේ බැචෙක් තමයි සයිට් මැනේජර් හිටියේ. ඒකා හින්දා ටිකක් හොඳකුත් තිබුනා. වැඩ කරන්න හිටපු ස්ටාෆ් එක උන් ලෝකේ කාල වතුර බීපු සෙට් එකක් හිටියේ, එහෙන්  ගමේ උන්ගෙන් පුදුම වදයක් තිබුනේ,  වාහන වල ඩීසල්  ටික රෑට ඔක්කොම ඇදගන්නවා වැලි ගල් ටිකක් පාරේ බාල තියන්න බෑ මහා දවල් ඇවිල්ලා පටවන් යනවා. ගමේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී නිකන් පොලිස් පති වගේ , බිව්වම ඔෆිස් එකට ඇවිල්ල ඔක්කොටම සද්දේ දාලා යනවා. මගේ යාලුවටනම් ගැහුවත් එක දවසක්.
පාතාලේ ගෑවිච්ච උන් හෙන චන්ඩි වගේ හැසිරුනේ ,ඇත්ත පාතාලේ උන් පුස් පැටව් වගේ ඉන්නකොට. අරුන්ගේ මුන්ගේ පාරවල් හදලා දෙන්න පුදුම වදයක් තිබුනේ. වැඩ කරනවට වඩා අපිට සැහෙන්න ප්‍රශ්න තිබුනා  ගමේ උන්ගෙන්.හැමෝටම ඒ දවස් වල මහරජ තුමාගේ උෂ්නේ  ටික  වෙන්න තිබුනා. කම්පනියේ තිබුනෙත් මහා මජර වාහන ටිකක් දවසට එකක්  නම් අනිවාර්යෙන් කැඩුනා. එක්කෝ උදේට ස්ටාර්ට් නෑ ,මම සර්වේ වුනාට  නොකරපු වැඩක් නෑ සයිට්  එකේ . යාලුවට ටෙන්ෂන් එක දරාගන්න බැරිම තැන පැදුරටත් නොකිය යන්න ගියා. ඉතුරු උනේ මම නිසා ඒ කටු ඔටුන්න මගේ ඔළුවට වැටුන. ට්‍රේනින් හිටපු මටත් ඒක වැඩි  කල් ඔරොත්තු දුන්නේ නෑ ට්‍රේනින් කාලේ ඉවර වුන ගමන් මටත්  සිද්ධවුණා යාළුවා කරපු වැඩේම කරන්න. ඒ වගේ අප්පිරිය තැනකින් ගැලවුන එක ගැන නම් අදටත් සතුටු වෙනවා.
වලස්මුල්ලෙන් ආව මට අයෙත් ජොබ් එකක් හම්බුනේ පානදුරෙන් ලොකු  අක්ක රත්මලානේ හිටපු නිසා අයෙත් මට එහෙ ඉඳන් වැඩට යන්න එන්න පුළුවන් වුනා

බෝඩිම් ජිවිත 3


ඇකඩමික් ඉවර වෙලා ආයෙත් අපි ට්‍රේනින් දැම්මා , මං ගියේ අහුන්ගල්ලේ සයිට් එහෙකට ලොකු හොටෙල් ප්‍රොජෙක්ට් එකක් . අපිට නවතින්න ඇතුලෙම ඒකෙ ඩ්‍රයිවර්ස් ක්වාටස් එක දීල තිබුනේ, ඒකත්  පොඩි හොස්ටල් එකක් වගේ තමයි . එක එක ජාතියේ උන් හිටියා එකෙත් , ඩොමේට්‍රියක් උනාට තිබුනේ සිමෙන්ති ඇඳන් , බඩුවක් තියාගන්න වත් තැනක් තිබුනේ නෑ ඇඳ විතරයි ඔක්කොටම තිබුනේ, කොහොමත් ඒ සයිට් එකේ වැඩිපුර නිදාගන්න වෙලාවක් තිබුනේ නෑ පැය 24ම වගේ වැඩ අපි ඔෆ් වුන අඩුම වෙලාව රෑ 12 . ඊට කලින් ඔෆ් වුනත් කාර්ඩ් එක ගැහුවේ 12ට . දවසට රුපියල් 200යි ගෙව්වේ OT ටිකක් කරහම තමයි කියක් හරි ගන්න පුළුවන් නැත්තම් පඩිය ඉවරයි චමරියට කැපිලම .
අහුන්ගල්ලේ සයිට් එකේ වැඩ තිබුනේ මාස 9ක් විතරයි . එක ඉවර වෙලා යුනියන් ප්ලේස් එකේ බිල්ඩින් සයිට් එහෙකට යන්න වුනා. නවතින්න වුනේ ගංගාරාමේ පිටිපස්සේ බෝඩිමක . එතනත් වැඩ ඉවර වෙන වෙලාවක් තිබුනේ නෑ එත් ඒකෙ ඩේ ඔෆ් තිබුනා . රෑට තනියම එන්න නම් අමාරුයි සයිට් ඒකෙ ඉඳන් බෝඩිමට , හොල්මන් හින්ද නෙවෙයි බල්ලෝ එක්ක , දවල්ට නැට්ට පස්සේ ගහගන ඉන්න නාටු බල්ලෝ රෑට ඉන්නේ සිංහයෝ වගේ. එකෙක් යන්තම් බුහ් ගෑවොත් රොත්ත පිටින්ම එලවනවා. අපි ඉතින් හෙන වට රවුමක් ගහල බෝඩිමට එන්නේ රෑට තනියම එනවා නම් . අපේ එකෙක්ව බල්ලෝ එළවන් එද්දී ළඟ තිබුන කුණු ලොරියක එල්ලිලා , කොහොම හරි පැයක් විතර බහින්න  දීලම නෑ , යන්තම පොලිස් පැට්‍රොල් එහෙක උන් ටිකක් දැකල බල්ලෝ එළවලා මිනිහට යන්න දීලා තිබුනේ. ඒ කාලේ තමයි අර බුදු රැස් විහිදෙන්න ගත්තේ. අපේ උනුත් ගියා ගංගාරමේ පිලිමේත් බුදු රැස් බලන්න මං  ඇර.  බෝම්බත් පිපිරුවා ඒ හරියේ කීපයක්ම අපි ඉන්න කොට අපි සයිට් එකේ උඩ  ඉඳන් බලන් ඉන්න කොට තමයි එක සැරයක් කොල්ලුපිටියේ බෝම්බයක් පිපිරුවේ. ඒ කාලේ පොලිසියෙන් රෑට දේවල් චෙක් කරා . අපේ බෝඩිමටත් දවසක්  රෑ  ඇවිල්ලා  ඉන්න කට්ටියකට එලියට එන්න කිව්වා, ඒ බෝඩිමේ ගෑණු පිරිමි දෙගොල්ලොම හිටියා කම්පැනියේ වැඩ කරපු. ඔක්කොගෙම අයිඩින්ටි චෙක් කරලා බෝඩිමේ එඩ්රේස් එක ඇහුවට එකෙක්වත් දැන ගැන හිටියේ නෑ , පොලිසියෙන් හොඳ දේශනාවකුත් අහගන තමයි නිදා ගන්න වුනේ ඉන්න තැන ගෙදරටවත් කියන්න දන්නේ නැද්ද කියල. මහා රෑ යන්න්තම් ඇඩ්මින් කෙනෙක් ඇහැරවගන එයාගෙන් තමයි එඩ්රෙස් එක අහගත්තෙ කෝල් එකක් දීල.
ට්‍රේනින් අවුරුද්දෙන් පස්සේ ආපහු ඇකඩමික් පටන් ගත්තා තුන්වෙනි සැරේට හොස්ටල් හම්බු වෙන්නේ නැති හින්දා අපි ආපහු බෝඩිමක් හොයාගත්තා කටුනායක නායක පාරේ, එතන හොස්ටල් එකේ හිටියට වඩා සද්දේ , එයාර් පොර්ට් කෑම්ප් එක පිටි පස්සේ නිසා උදේට කෆීර් ස්ටාර්ට් කරන කොට නිකන් භුමි කම්පාවක් වෙනවා වගේ. යුද්ධේ හොඳම කාලේ නිසා හැමදාම කෆීර් මිග් නග්ගනවා , අපි ඇඳේ උඩ විසිවෙනවා , එතන ඉන්නකොට තමයි කොටි කුරුම්බැට්ටි මැෂින් එකෙන් ඇවිත් බෝම්බ දාල ගියේ, අපිත් දැක්ක ඒක

බෝඩිම් ජිවිත 2

අපේ ඇකඩමික් මාස හයෙන් දෙවැනි මාස තුනේ අපිට හොස්ටල් හම්බුනා . හොස්ටල් එක තිබුනේ රේල් පාර අයිනෙමයි අපේ කාමරේත් හරියටම ඒ පැත්තේම තිබුනේ, රෑ දවල් කියලා නෑ එකේ කෝච්චි යනවා ඇයි එයාර් පොර්ට් එකට තෙල් කෝච්චි යන්නේ රෑට වැඩිපුර . එකෙන්  එකක් වුනා දැන් කනේ කෝච්චියක් ගියත් නින්ද යනවා අපරාදේ කියන්න බැරුව  . හොස්ටල් එකේ ඉතින් තනි දේවල් තියාගන්න බෑ . සබන් ටූත් පේස්ට් හන්ගලාවත් තියාගන්න බෑ . ඇදුමක් හොදල් දැම්මොත් වේලෙන්න කලින් වෙන එකක් ඇඳගන පනිනවා. සෙරෙප්පු රෑට කෝට්ටේ යට තියාගත්තොත් මිසක් බේර ගන්න බෑ . උදේට ටොයිලට් බාත්රුම් පෝලිම් නිසා මං කාටත් කලින් නැගිටලා ඒ වැඩ ටික කර ගන්නවා. ඒ පුරුද්ද තාමත් තියනවා බැණුමුත් අහල තියනවා යාලුවොන්ගෙන් එලි වෙනකන් නිදාගන්න බැරි පව්කාරයා කියල.
පලවෙනි සැරේ මං  ට්‍රේනින් දාගත්තේ ගාල්ලේ වෝටර් බෝඩ් එකට , ගෙදර ඉඳන් යන්න අමාරු නිසා මං අපේ ලොකු අම්මලාගේ ගෙදර නැවතුනා වඳුරඹ . මාස නාමයක් එහේ හිටියා , උදේට වඳුරඹ ඉඳන්  කරාපිටියටත් කරාපිටියෙන්  කලේගානටත් යන්න ඕන වුනා අපේ ඔෆිස් එකට. එතන හිටියේ අපේ සීනියර් අයියල අක්කලා හින්දා ගොඩක් උදේට කව්රු හරි එක්ක එයාලගේ සයිට් එහෙකට ගිහින් හවසට ඔෆිස් එකට එනවා . ඒ කාලේ තමයි ලංකාවට සුනාමිය ආවෙත් .
අපිත් ගියා සුනාමියෙන් පස්සේ ටවුන් එක සුද්ද කරන වැඩ වලට.
සඳුදා උදේට ගෙදර ඉඳන් ගියේ වැඩට , උදේ පාන්දර පහේ බස් එකට එන්න ගෙදරින් හතරයි කාලටවත් එන්න ඕන බයිසිකලේ ගෙදර තිබුනට මාව පාරට දාල එන්න කවුරුත් හිටියේ නැති නිසා මට පයින්ම තමයි යන්න වුනේ කිලෝමීටර් හතරක් . සිකුරාදා හවසට අයෙත් ගෙදර එන්නේ ගාල්ලෙන් පහමාරේ බස් එකේ ගෙදර එනකොට රෑ  නමය වත් වෙනවා , එනකොටත් පයින් තමයි අන්තිම ටික එන්න වුනේ.
ට්‍රේනින් ඉවර වුනාම අයෙත් ඇකඩමික් වලට කටුනායක යන්න වුනා, හොස්ටල් හම්බුවෙන්නේ නැති නිසා අපිට බෝඩිමක් හොයාගන්න සිද්ධ වුනා අපි කට්ටියක් එකතු වෙලා ගෙයක් රෙන්ට් එකට ගත්තා කටුනායකින් . සාලෙයි කාමර දෙකයි තිබුනේ ඒකෙ , බත්රුම් එකක් නෑ වක්කරගන නාන්න ටැංකියක් තිබුනේ. එළියේ ටොයිලට් එකක් තිබුනේ,
අපි උදේට කෑවේ කඩේකින් දවල්ට කැන්ටින් එකෙන් කෑවා ළඟ ගෙදරකින් කෑම පාර්සල් දුන්නා. හැමදාම බත් වලට කකුළුවෝ තිබුනා ඒ ගෙදර මිනිස්සු කලපුවේ මාළු අල්ලන හින්දා , ටික දවසක් යනකොට කකුළුවෝ කෑමත් එපා වුනා, ඔය අස්සේ අපේ එකෙක් ළඟ ගෙදරක හිටපු පොඩි කෙල්ලෙක් එක්ක නිහඬ ලව් එකකුත් පටන් අරන් තිබුනා කෙල්ල 9වසරේ විතර, අපි කිව්වේ චුටි කුකු කියල.  දෙන්නට දෙන්නා රෑට ජනෙල් වලින් බලන් ඉන්නවා විතරයි , කතාබහක් නෑ . අපි සමහර දවසට බිලා රෑ වෙනකම් සින්දු කියන නිසා ඒ කෙල්ලගේ අම්ම අපිට කීප සැරයක්ම සද්දෙකුත් දැම්ම , බැරිම තැන කෙල්ලත් අරන් වෙන තැනකට ගියා.  අරු ටික දවසක් හුලන් ගියා වගේ හිටියා අපිට බැන බැන .
අපේ හයිවේ සෙට් එකත් ඒ ලග ගෙදරක කාමරයක් අරන් හිටියේ. ඒ ගෙදර හිටියෙත් අක්ක කෙනෙකුයි එයාගේ දුවයි . එකෙක්වත්  තනියම නම් ඉන්න බයයි බෝඩිමේ . ඒ ගෙදර බල්ලා අපිත් එක්ක අපේ බෝඩිමටත් එනවා, දවසක් රෑ අපි උව අල්ලලා කරේ එල්ලුවා බෝර්ඩ් එකක් අර අපේ හයිවේ සෙට් එකේ උන්ගේ කාර්ඩ් ටික ලියලා . උදේ අපි යනගමන් අක්ක ඉන්නවා ගේ ගාව , බලන්න මල්ලි කවුද සක්කිලි වැඩක් කරලනේ අපේ බල්ලට කියල කිව්වා අපිට, අපිත් අනේ ඇත්තද අක්කේ කියාගන ගියා.
මාස තුනෙන් පස්සේ අයෙත් අපිට හොස්ටල් හම්බුනා, බෝඩිමට ආයුබෝවන් කියලා ආපහු හොස්ටල් එකේ කාමරයක් අල්ල ගත්තා.
හොස්ටල් ඉන්නකොට රෑට කෑවේ ළඟ කඩේකින් ,  ඒකේ බත් කනවානම් ඕන තරම් දෙනවා හැබැයි එක පිඟානේ කන්න පුළුවන් එක්කෙනාටයි , අපේ උන් ඉතින් වේටර්ට කියක් හරි දීලා දෙන්න දෙන්න කනවා. කන්න යන ගමන් අපිට පාරේ කරුවල තැන්වල XX සීන් බලාගන්නත් පුළුවන්. කලාපේ වැඩ කරන ගෑණු ළමයින් එහෙ ඉන්න මදාවියෝන්ට අහුවෙලා පාරවල් ගානේ ඉන්නවා. හොස්ටල් එකේ තිබුනේ කාමර 44යි අල්ලපු වැටේ තිබුන බෝඩිමට කිව්වේ  45 බෝඩිම කියලා. ඔකේ හිටපු අපේ සෙට් එකක් පොඩි බැල්මට් පාරක් දාගන හිටියා කාලයක් . වෙන එකෙක් ගිහිල්ලා බැල්මට් එක වැඩිපුර විඳගන්න හදලා මාට්ටු වෙලා ගුටිත් කාල පොලිසිත් ගිහිල්ලා  පොලිසියේදී  ඒ ගෑණු කෙනාට වැඳලා සමාව ගන්නත් වුනා , දැන් නම් ඌ ප්‍රසිද්ධ ස්කොලෙක ගුරුවරයෙක් .

බෝඩිම් ජීවීත -1


මොකක්දෝ කරුමෙකට මගේ ජිවිතේ වැඩි කාලයක් ගෙවුනේ ගෙදරින් පිට, ඉස්කෝලේ යන්නත් කලින් ඉඳලා , ඉස්කෝලේ යන්න පටන්  ගත්තම ඉඳලා ස්කොලේ ගිහින් ඉවර වෙනකන් නම් ගෙදර ඉන්න වාසනාව තිබුනා. මං   හෝඩියේ ඉඳන් එකම ස්කෝලෙකට ගියපු නිසා.
ස්කොලේ යන්න කලින් අපේ ගෙදර ළමයි වැඩි නිසා මාව එක එක තැන් වල නවත්තලා තිබුනා .හල්විටිගල  අපේ මද්දුම තාත්තලාගේ ගෙදර කාලයක්. බද්දේගම මද්දු අම්මලාගේ ගෙදර කාලයක් , ඔය විදියට ඒ 1988දී
ස්කොලේ ගිහින් ඉවර වෙලා රත්මලානේ ලොකු  අක්කලාගේ ගෙදර ඉඳන් කම්පියුටර්  කෝස් එකක් කරපු නිසා මාස 6ක් එහෙ හිටියා 2003දී . ඒක ඉවර වෙලා අයෙත් කාලයක් ගෙදර හිටියා මගේ උසස් අධ්‍යාපනේට අවස්තාව හම්බු වෙනකම්. ඒ කාලේදී මං වත්තේ පිටියේ වැඩ ටිකකුත් කරා , තේ පැල බාස්කට් දැම්මා. තනියම තේ පාත්තියක් ඉන්දුවා .
2004 දී ආපහු කොළඹ යන්න සිද්ධවුනා මගේ උසස් අධ්‍යාපනේට . මුල් මාස 3 හිටියේ අයියත් එක්ක එයාගේ නුගේගොඩ බෝඩිමේ. එහේ ඉඳන් දවස ගානේ කටුනායක ගියා. මුල දවස් වල නම් නුගේගොඩ බෝ ගහ ගාවට පයින් ගිහන් එතනින් පිටකොටුවට ගිහින් 187 ගියේ.  පාගොඩ පාරේ බස් ඇත්තේ නෑ   එච්චර උදෙන් . පස්සේ  සුපර් මාකට් එක ගාවින්  176 නැගලා ආමර් ස්ට්‍රීට් එකෙන් බහිනවා , එතනින් 240 හරි 92 කුලියාපිටිය එහෙක හරි නැග්ගම කටුනායක යන්න ලේසියි.
අයියා තමයි ඒ දවස් වල මගේ ඔක්කොම වියදම්  බලාගත්තේ , එක දවසක් එයා දුන්න රුපියල් දෙසීයක් , එක දෙසියේ කොලයක් ඒ දවස් වල තිබුන , නිල් පාට ප්ලාස්ටික් වගේ කොලේ . මං  කටුනායක ඉඳන් එන ගමන් ඕක දුන්නා 240 බස් එහෙකට , කොන්දා ඒක ගන්න බෑ කියාපි ඉරිලා කියල චුට්ටක් , මං කිව්වා ඉතින් මං ගාව වෙන සල්ලිත් නෑ කියල. මිනිහ මාව බැස්සුවේ නම් නෑ . අරක ගත්තෙත් නෑ . අයෙත් මං ආමර් ස්ට්‍රීට් එකෙන් බැහැල 176 යන්න තියෙන්නෙත් අර දෙසීයම තමයි , ඒ බස් එකටත් දුන්නට මිනිහා ගත්තෙත් නෑ . වෙන සල්ලි නැති නිසා ඉතින් මට කරන්න දේකුත් නෑ . එකේම ගියා ඉතින් සල්ලි  නොදී .
හවසට 176 එනවා කියන්නේ ඉතින් බුදු ගණන් ලෝඩ් එකයි පාරේ ට්‍රැෆික් එකයි නුගේගොඩ පෙනී පෙනී පැයක් විතර  ඉන්නවා . සමහර දවසට නම් මං  බැහැල පයිනුත් යනවා. යනකොට නම් මහන්සි නිසා බෝඩිමට පයින් යන්න අමාරුයි . 163ක් එනකම් ඉඳලා එල්ලිලා යනවා නාවල  පාරේ මාතර බත් කඩෙන් රෑට අයියටයි මටයි  කෑම එහෙකුත් අරගන.
එක දවසක් ඔහොම 163ක් එනකම් බලන් ඉන්න කොට ආවා හිස් බස් එකක් ජුබිලි කනුව පැත්තෙන් යන , අයියගේ බෝඩිමට ඒ පාරෙනුත් යන්න පුළුවන් . මමත්  නැග්ග ලොක්ක වගේ, කොහොම හරි බහින තැන බලාගන්න බැරි වුනා මට ගිහින් බැස්සේ පිටකෝට්ටේ හංදියේ . එතන ඉඳලත් පයින් එන දුර බෝඩිමට , ඉතින් මං දැන් පයින් එනවා එතකොට ආවා 163 බස් එහෙකුත් මහන්සිත් නිසා මාත් නැග්ගා. ටික දුරක් ගියා  පාර ටිකක් වෙනස් වගේ. බලද්දි මං නැගලා තියෙන්නේ බත්තරමුල්ල පැත්තට යන බස් එකක. මං යන්න ඕන නුගේගොඩ පැත්තට. පිටකෝට්ටේ හංදියේ ඉඳන්ම මං පයින් ගිහින් තියෙන්නේ වැරදි පැත්තට බස් එකෙන්  බහින කොට බෝඩිමට තව දුරයි . දැන් නම් පයින් යා ගන්න පණක් නෑ. තිබ්බ රු50ක් දීල ත්‍රීවීල් එකක් අල්ලගෙන බෝඩිමට ආවේ.
අපේ රැග් සීසන් එකේ අන්තිම කාලේ එක දවසක් අපිට තිබුනා උදේ 4ට කටුනායක ඉන්න ඕන . මන් නුගේගොඩින් පිටත් වුනේ රෑ 2ට . පයින්ම ගියා බෝගහ ගාවට  එතනින් බදුල්ල ඉදන් ආපු AC එහෙක ගියා පිටකොටුවට , එතනිනුත් ළඟ බස් තිබුනේ නෑ අනුරාධපුර එහෙක යන්න්තම් කෙඳිරි ගාල කටුනායකට දම්ම ගත්තේ.
නිවාඩු දවස් බෝඩිමේ ඉන්නවා කියන්නේ විකාරයි. ළඟ පාතක කෑම කඩයක් තිබුනේ නෑ , කෑම එකක් ගන්න නුගේගොඩටම යන්න වෙනවා. උදේට මැගී නුඩ්ල්ස් එකක් කාලා දවල්ට බස් එකේ ගිනින් කෑම එකක් ගේනවා , රෑට ඉතින්  ළඟ තිබුණු ඇල්හෙවන  කියන රෙස්ටුරන්ට් එකෙන් කොත්තු කනවා , කොත්තු එපා වෙනකම් කෑවා ඒ දවස් වල .
නුගේගොඩ බෝඩිමට ඒ කාලේ ආව අය කිව්වේ හොල්මන් මන්දිරේ කියලා. මොකද ඒ ගේ ටිකක් පරණයි අපි හිටියේ ගෙයි එක කාමරේක විතරයි අපිට ඒකාලේ එච්චර වත්ත මිදුල ගැන හොයන්න උවමනාවක් තිබුනෙත් නෑ වටේ පිටේ කැලේ වැවිලා තිබුනේ . අයිති අන්කලුයි ඇන්ටියි ඇවිල්ල මාසෙකට දවසක් විතර සුද්ද කරලා යනවා.  එහෙම ආපු දවසක ඇන්ටි දැකල කුස්සියේ තිබුන කොකා කෝලා බෝතල් ටික කියනවා පුතාලා මෙච්චර මේවා බොන්න එපා හොඳ නෑ කියලා. ඇන්ටි කොහොමා දන්නේ ඕවා නිකන් බොන්න නෙවෙයි සැන්ඩි කරන්න ගෙනාපුවා කියලා. අරක්කු බෝතල් ටික පේන්න තිබුනේ නැනේ .

මහා රෑ විලාපේ



අපේ හොස්ටල්  තට්ටු තුනයි ඒක තට්ටු දෙකක් මැදින් බෙදලා එක පැත්තක  තමයි ගෑණු ළමයි හිටියේ. ග්‍රවුන්ඩ් ෆලෝ එකේ TV රූම් එක කොමන් ගෑණු පිරිමි දෙගොල්ලොන්ටම හැබැයි ගෑණු ළමයින්ට අටෙන් පස්සේ ඉන්න තහනම් TV රුම් එකේ . කිසිම විසම ක්‍රියාවක්  අපේ බැජ් එකට වෙනකම් නම් වුනේ නෑ . සහයෝගෙන් හිටියා . ෆ්ලෝ  එක බෙදලා තිබුනේ යකඩ දැලකින් අනිත් පැත්ත පේනවා එකෙන් , කපල් හිටපු උන් නම් ඔය දැල හරහා එක එක දේවල් හුවමාරු කරගන තියනවා රෑට රෑට . ඒ ඇරෙන්න ගෑණු ළමයින්ගේ පැත්තෙන් කම්ප්ලේන් එකක්වත් ගියේ නෑ කොල්ලන්ගේ හැසිරීම ගැන.
ඒ අපිට සෙමිස්ටර්  එග්සෑම් තිබුන  දවසක්, හැමෝම මහා රෑ වෙනකම් ඇහැරිලා හිටියේ,  රෑ 11ට විතර ගෑණු ළමයින්ගේ පැත්තෙන් මහා විලාපයක් ඇහෙනවා අපිට . දඩ බඩ ගාල එලියට පැන්නට අපිට ඒ පැත්තට යන්න බෑ ඇතුලෙන් ලොක් කරලා තියෙන්නේ . අප හිතුවෙම කව්රු හරි පිට එකෙක් ඇතුලට පැනලා කියලා.
ඇතුලේ හිටපු මිස් කෙනෙක් දොර ඇරලා කතා කරාම තමයි අපි විස්තරේ දැන ගත්තේ. එක ළමයෙක් කාමරේ උළුවස්සට අත තියාගන ඉන්න ගමන් හුළඟට දොර වැහිලා, ඇඟිල්ල දොරට අහුවෙලා . එයා බාත්රුම් එකට ගිහින් අත හෝදන කොට තමයි දැකලා තියෙන්නේ ඇගිල්ලේ කෑල්ල නැහැ කියලා. ඒ වෙලාවේ තමයි අර කෑගහල තියෙන්නේ. ඇගිල්ලේ කොටසත් අරගන හොස්පිටල් ගෙනිච්චට තැලිලා නිසා බද්ධ කරන්න බැරි වුනා. ළමයි ඔක්කොම රෑ ගොඩක් ෂොක් වුන නිසා පහුවෙනිදා එග්සෑම් එකත් කැන්සල් කරා. මහන්සි වෙලා ගෙවල් වල ඉඳන් පාඩම් කරගන ආපු උන් බැන බැන ගෙදර ගියා.

මැරීන් කුකුළා


අපිට වඩා බැජ් හතරක් උඩ බැජ් එහෙක හිටපු අයියා කෙනෙක් තමයි කුකුලා මිනිහා මැරීන් කරලා නැවක වැඩ කරේ ඒකාලේ, නැවෙන් බැහැපු ගමන් ගෙදර යන්නත් කලින් මිනිහා එන්නේ හොස්ටල් එකට . ඇවිල්ලා මොන බැජ් එකේ කවුරු හරි එකෙක්ව කුදලගන යනවා මිනිහත් එක්ක බොන්න. අප්පා උගේ කතා ටිකයි ඉවරයක් නැති බීමයි හින්දා මොකෙක්වත් කැමැති නෑ යන්න . අපි හිටියේ හොස්ටල් එකේ ග්‍රවුන්ඩ් ෆ්ලෝ එකේ . දවසක් රෑ අපිට පේනවා කුකුලා අයියා  හොස්ටල් එකේ ගේට්ටුවෙන් ඇතුලට එනවා. මුට අහු වුනොත් විසුමක් නැති හින්දා කට්ටිය කරේ දඩ බඩ ගාලා ලයිට් ඔෆ් කරලා ඇඳට පැනලා නිදා ගන  වගේ හිටියා , සාමාන්‍යයෙන් හොස්ටල්  එකේ කාමර වල දොරවල් ලොක් කරන්නේ නෑ . කරාට වැඩක් නෑ කොහොමත් කඩනවා කවුරු හරි. දැන් කුකුලා අයියා ආවා ග්‍රවුන් ෆ්ලෝ එකේ කාමර බලාගන බලාගන ගියා අපේ කාමරේටත් එබුනා ලයිට් එක දාල බැලුවා , ඔක්කොම නිදි , නිදිනම් කරදර කරන්නෙත් නෑ මිනිහා. ලයිට්  එක ඔෆ් කරලා මිනිහා ගියා . අපිත් ටිකක් වෙලා එහෙමම ඉඳලා එකෙක් ඔලුව උස්සලා ඇහුවා අරූ ගියාද බං කියලා.
අම්මට හුඩු  කුණුහර්ප වරුසාවක් එක්ක කුකුලා අයියා ආවේ  නැද්ද කාමරේට . තොපි හිතුවද තොපි මාව ඇන්දුවා කියලා. තොපිට කලින් අපි මේවයි  හිටියේ.කියල. බැලින්නම් මිනිහා ලයිට් එක ඔෆ් කරලා එලියට වෙලා ඉඳලා. පැය දෙහෙක විතර දීර්ඝ දේසනාවක් අපිට දීලා මිනිහ යන්න ගියේ එදා. මිනිහත් එක්ක බොන්න ගියානම් ඊට වඩා හොදයි කියල හිතුනා.

ටියුෂන් කාලේ කොලු වැඩ


ටියුෂන් යාමත් එක්ක අපිට ටිකක් නොහොබිනා වැඩ කරන්න අවස්ථාවකුත් හම්බුනේ නැත්තේ නෑ . ඒකාලේ අපේ කොලු ගැන්සිය කඩේකට එනවට නම් කිසිම මුදලාලි කෙනෙක් කැමති වුනේ නෑ. තේ බොන්න ගියාම අතට අහුවෙන මොනවා හරි දෙයක් සාක්කුවේ දාගන එන කීප දෙනෙක් අපේ හිටපු නිසා,
රෝල්ස් එකක් නෙවෙයි කන්නේ දෙකක් එකට තියාගන එහෙම කාල එහෙකට සල්ලි දීලා මාරු වෙනවා. ඒ කාලේ හුගක් කඩවල් වල අයිස් පැකට් තිබුනට ෆ්‍රිජ් එක එක්කෝ කඩේ පිටි පස්සේ ගෙදර හරි ඇතුලක හරි තිබුනේ. ඉතින් අපේ උන් ඒවගේ කඩවල් හොයාගන යන්නේ. අපි අයිස් පැකට් දෙකක් ඉල්ලනවා ඒ අස්සේ  අනිත් උන්ගේ  සාක්කු ෂර්ට් අස්ස පිරෙනවා මුදලාලි ෆ්‍රිජ් එක අරින්න යනකොට. කන ජාති කියලම නෑ සබන් කෑල්ලක් හරි ඔබා ගන්නවා සාක්කුවේ වෙලාවේ හැටියට.
අනේ අසරණ මිනිස්සු .
හැබැයි එක දවසකින් පස්සේ අපි ඒවා නැවැත්තුවා මොකද එක මුදලාලි කෙනෙක් අපේ උන් කනවා හොදට මීටර් කරන ඉඳලා සල්ලි ගෙවද්දී වැඩේ අල්ල ගත්තා . අපේ හිටපු චන්ඩි එකෙක් අර අහිංසක මනුස්සගේ සොකේස් එහෙකුයි ටොපි බෝතල් ටිකයි කුඩු කරලා තමයි එලියට බැස්සේ . එතනින් පස්සේ අපි පොදු තීරණෙකට ආවා ඒ වගේ වැඩ  නවත්තන්න.
 සමහරු නම් එත් කරලා තිබුනා ඊට පස්සෙත් . OL ලියල ගෙදර ඉන්න කාලේ ක්‍රීඩා උත්සවේකට ගිහින් එන ගමන් මග කඩේකින් තේ බිලා එකෙක් අරන් එන්න දෙයක් නැතුවද මන්දා හොරාත් කාල මුදලාලිගේ ග්‍රෑම් 500 පඩියත් සාක්කුවේ දාගන ඇවිල්ල . කොහොම හරි මුදලාලි දැනගැන ස්කොලේටම ඇවිල්ලා කියලා තිබුනා හොරා කාපු සල්ලි ඕන නෑ ග්‍රෑම් 500 පඩිය හම්බුනොත් ඇති කියල.
අපේ උන් ඉතින් ඒ කාලේ ගෙවල් වල නිසා සර් කෙනෙක් එකෙක්ගේ ගෙදරට බයිසිකලේකින් ගිහින් මුදලාලිගේ පඩිය ගෙනත් දීලා තිබුන.

ඕ ලෙවල් ටියුෂන් 2


 
දහය වසරේදී හැමෝම යන නිසා ඉංග්‍රීසි පන්තියකටත් යන්න පටන් ගත්තා. ඒ ස්කොලේම ඉංග්‍රීසි උගන්නපු ජයරංග සර්ගේ. අනිත් ළමයි ඔක්කොම ගිහිපු නිසා මං  විතරක් යන්නේ නැත්තේ සල්ලි නැති නිසා බව සර්ට තේරිලා සල්ලි ඕන නෑ  පන්තියට එන්න කියලා සර් කිව්වා. එත් ඉතින් මං  කොහොම හරි සල්ලි දුන්න සර්ට. එකත් රුපියල් 15ක්ද කොහෙද දවසට. සර් නම් ඉස්කෝලෙත් හොඳට ඉගැන්නුවා එත් විද්‍යාවට ආපු සර් නම් එහෙම කරේ නෑ එයා ටියුෂන් එකකුත් කරා ,ඒක නිසා ස්කොලේ ඉගැන්නුවේම නෑ , බොරුවමයි කරේ. මට කොහොමත්  තව ටියුෂන් එහෙකට යන්න වත්කමක් තිබ්බේ නෑ . එත් මට සැහෙන්න කැපිලි තිබුනා එයාගෙන් ටියුෂන් එකට එන්නේ නැති එකට. මමත් තව කීප දෙනෙකුත් විතරයි ගියේ නැත්තේ. හැබැයි මට විද්‍යාවට ලකුණුත් ටිකක් තිබුන නිසා මම ඕ ලෙවෙල් වලට D  එකක් ගත්තොත් එයාගේ ගොඩට එක දාගන්න බැරි වෙන නිසා කීප සැරයක්ම මට එන්න එන්න කියලා කටින්ම කිව්වා. එක දවසක් මං  නිකමට ගියා පන්තියට .එයා ස්කොලේදී කරන බොරුවයි ටියුෂන් එකේදී උගන්නන්න තියන උනන්දුවයි  දැක්කම මට එක දවසින්ම එපා වුනා මනුස්සයව.

එකොළහ වසරේදී මට තේරුනා විද්‍යාවටත් ටියුෂන්  එහෙකට යන්න වෙනවා කියලා. වාසනාවට අලුතෙන් සර් කෙනෙක් විද්‍යාව පන්තියක් දැම්මා ජයලත් කියලා.  . අර ස්කොලේ උගන්නපු සර්ට බයේ කවුරුත් ආවේ නෑ අළුත්  පන්තියට නිකමටවත්. අපි කීප දෙනෙක් ගියා. ළමයි දහයක් වගේ හිටියේ, අපි සර්ට කිව්වා අපේ දැනුමේ තත්වෙත් ස්කොලේ උගන්නන විදියත්. ඒ සර් බොහොම ප්‍රතිපත්ති ගරුක මනුස්සයෙක් . එයා ආවේ ටිකක් දුර ඉඳලා අපි දහ  දෙනාගෙන් එයාට පෙට්රෝල් වියදම වත් හම්බුනේ නෑ බයිසිකලේට. හැබැයි එයා පොරොන්දු වුනා අපිට අවුරුද්ද ඉවර වෙනකම් පන්තිය කරන්නත් අපිට නමය දහය පන්ති වලදී මග අරුණු පාඩම් ටික  විභාගෙට අවශ්‍යය ප්‍රමාණයට කවර් කරලා දෙන්නත්.  ඇත්තටම මට හිතුනේ සර් එහෙට ආවේ මං  වෙනුවෙන්මයි කියල. හරිම දක්ෂ විදියට සර් විෂය ඉගැන්නුවා මං  දන්නෑ සර් එයාගේ ස්කොලෙත් එහෙම ඉගැන්නුවාද කියලා, එත් අපිට ලොකු ගව්රවයක් තිබුනා සර් ගැන.
මම ඇතුළු ජයලත් සර්ගේ පන්තියට ගිහිපු ළමයි ටිකට ස්කොලේදී අර විද්‍යාව සර් බොහොම කැත විදියට සැලකුවේ, විද්‍යාගාර පරීක්ෂණ වලදී අපිට අවස්තාව දුන්නේ නෑ . විභාගෙදි වුනත් පේපර් හරියට බලලා තිබුනේ නැහැ අපේ. ජයලත් සර් කිව්වේ ඕ ලෙවල් පේපර් බලන්නේ එයා නෙවෙයි  නිසා ඉවසගන ඉන්න කියලා.

11 වසරේදී  ගණිතයටත් මං වෙන මිස් කෙනෙක් ගාවට ගියා ටියුෂන්  වලට . ඒකාලේ ඒ පැත්තේ ජනප්‍රිය වෙලා හිටපු . මොහාන් සර් නරක නැති වුනාට පැමිණීමේ අඩුවයි, අලුත් ට්‍රෙන්ඩ් එකයි නිසා මටත් අලුත් පන්තියට යන්න වුනා. විනිතා මිස් ඇත්තටම හරිම ආසහිතෙන් විදියට ඉගැන්නුවා ළමයින්ටත් හරි කරුණාවෙන්. මිස්ගෙන් මටත් විශේෂ සැලකිල්ලක් තිබුනා මගේ හැකියාව අඳුරගන තිබුන නිසා මිස් . හැමදාම මට කිව්වේ D එකක් ගන්න නෙවෙයි 100% ගන්න ට්‍රයි කරන්න කියලා ගණිතයට. 100% ගන්න ළමයින්ට ජපන් යන්න ස්කොලර් ෂිප් එකක් හම්බුවෙනවා කියලා.
 ඒ කලේ ඔය එක පන්තියක් වත් තිබුන ගොඩ නැගිලි ස්ථිර ඒවා නෙවෙයි අනිවාර්යෙන් වැස්සට තෙමුනා. වැස්ස වෙලාවට උගන්නන්න බැරිවුණා කොහොමත් ටකරන් වලට වැස්ස වැටෙනකොට. රුපියල් දහයට පහළොවට උගන්නපු ඒ  මිනිස්සු ඇත්තටම ගුරුවරු කියන නම තිව්වා. ඉස්කෝලේ වුනත් උගන්නපු ගුරුවරු ඇත්තටම දැන් ඉන්න අයත් එක්ක බැලුවම නම් මල් තියල වඳින්න ඕන.
 11 වසරේ අන්තිමේදී අපි පොඩි උපහාර උත්සවයක් තිබ්බා ගුරුවරුන්ට අපිට උගන්නපු. එතකම් අපේ ස්කොලේ එහෙම දෙයක් කෙරිලා තිබුනේ නෑ . මහා දෙයක් කරේ නෑ පොඩි බුක් මාර්ක් එකක් ප්‍රින්ට් කරලා නිසඳැසක් එක්ක . කේක් බිස්කට් ටිකක් එක්ක බීම ටිකක් දුන්නා පුළුවන් විදියට. එකත් ඉතින් එයාලට ලොකු දෙයක් වුනා ඒ කාලේ. 








ඕ ලෙවෙල් ටියුෂන් 1




අපේ අක්කාලාගේ දරුවෝ ටියුෂන් යන්න පටන් ගත්තේ ඉස්කෝලේ යන්නත් කලින් ඉඳන් මට හිතෙන්නේ , දැනටම ටියුෂන් පන්ති හතර පහකටම යනවා. තව කාලයක් යනකොට මොන විදියේ තත්වයක් ඒවිද කියලා හිතාගන්නත් බෑ මට නම් . ඉස්කෝලේ ගුරුවරු විෂය බාගෙට උගන්නලා ඉතුරු ටික දැන ගන්න එයාගේ ටියුෂන් එකට එන්න කියනවා කියලා මං අහගන අක්කලාගේ ළමයි කියනවා. තව කාලයක් යනකොට ඉස්කෝලේ පීරියඩ් එකට පන්තියට  ඇවිල්ල ගුරුවරු ළමයි මං  මේ කරන්නේ ටියුෂන් එකේදී උගන්නන්න තියන ටික කියල ටියුෂන් ෆී එක ඉස්කොලේදීම ගත්තත් පුදුම වෙන්න දෙයක් නෑ . ළමයින්ගේ වෙලාවත් ඉතුරුයි එතකොට. මම දැක්කා FB එකේ පොස්ට් එකක් එහෙම කරන ගුරුවරු ගැන කම්ප්ලේන් කරන්න නම්බර් එක්ක දීල තියනවා. මටත් එහෙම අසාධාරණයක් වුනා කියලා මතක් වුන නිසා තමයි මේක ලියන්නත් හිතුනේ. අපිට එහෙම කොච්චර වුනත් ගුරුවරුන් ට එරෙහිව මොනවත් කියන්න තරම් ධයිර්යයක් අපිට තිබුනේ නෑ ඒ කාලේ . ගුරු ගව්රවය කියන එක තිබුනා චුට්ටක් හරි.

මං  මුලින්ම ටියුෂන් පන්තියකට  ගියේ  නමය පන්තියේදී  ඉංග්‍රීසි වලටයි ගණිතයටයි. අටේ පන්තියේදී මං ටිකක් ඉගනීමට දුර්වල නිසා ගණන් වලට ටියුෂන්  පංතියකට යන්න හිතුවා. අටේ පන්තියේදී අපිට හරියට ගුරුවරයෙක් හිටියේ නැහැ ගණන් වලට සිංහල උගන්නපු සර්ම තමයි ගණනුත් ඉගැන්නුවේ , මට නම් මෙලෝ මල දානයක් තේරුනේ නෑ , ගණන් වලට විසි ගණනක් ගත්තෙත් මං මාර අමාරුවෙන්. විද්‍යාවත් එහෙමම තමයි හිටපු මිස් ආහාර දාම පාඩම මාස ගානක් ඉගැන්නුවා අන්තිමට එයාට යැපෙන්නා කියලා නමකුත් වැටුනා එක නිසා . මං  හිතන්නේ විද්‍යාව පොතෙන් කාලක්වත් ඉගන ගත්තේ නෑ අපි අවුරුද්දටම. අපේ අයියා වගේ උසස් පෙළට සයන්ස් කරන්න හිතාගන හිටියත් නමය වසරට එනකොට ඒක නිකන් හීනයක් වුනා මොකද මං ගණන් වලටයි විද්‍යාවටයි දෙකටම සැහෙන්න දුර්වල වෙලා හිටපු නිසා. ඉංග්‍රීසි වලටත් වැඩිපුර කරේ කොපි රයිටින් ලියන එක . ඒ ඉංග්‍රීසි වලට හිටපු ගුරුවරු නම් වස කම්මැලි අය අපිට මොකක් හරි වැඩක්  දීල එයාලා එයාලගේ වැඩක් කරගත්තා . ඉස්කෝලෙන් දුන්න ඉංග්‍රීසි පොත්වල තිබුනේ මොනවද කියලවත් අපි දන්නේ නෑ.

හැබැයි නමය වසරේදී ස්කෝලෙට අලුතෙන් ගුරුවරු ටිකක් ආවා ගණන් වලට ආපු භද්‍රා  මිස් බොහොම හොඳට ඉගැන්නුවා . ඒ අතරේ මං ටියුෂන් එහෙකටත් යන්න පටන් ගත්තා, ඒ මොහාන් සර්ගේ  ටියුෂන් පන්තියක් කිව්වට ඒක පොඩි මඩුවක තිබුනේ පිට ලෑලි වලින් බංකු හදලා , වැස්ස වෙලාවට ළමයි කුඩ ඉහල ගන්නවා නැත්තම් තෙමෙන්නේ නැති තැනක් හොයාගන ගිහින් වාඩි වෙන්න වෙනවා. දවසට රුපියල් 10යි  ගත්තේ. එකෙත් මට මාසෙක ෆ්‍රී කාඩ් එකක් හම්බුනා ගානක් හරියට හදලා ඉස්සෙලාම පෙන්නලා. එකම වැරැද්ද තිබුනේ සර්ගේ පැමිණීම අඩුයි . ඒ කාලේ දැනුම් දෙන්න විදියකුත් තිබුනේ නැහැනේ කලින්, අපි ඉතින් ගිහින් බලන් ඉඳලා වෙලාව පහුවෙනකොට සර් ආවේ නැත්තම් ආපහු යනවා .  යන්නේ ඉතින් බෝල ගහන්න. නමයේදී ඉතින් මං ගණිතයට සැහෙන්න දක්ෂ වුනා සර්ටයි මිස්ටයි පින් සිද්ධ වෙන්න ලකුණු 95ට වඩා තිබුනා වාර තුනේම.
එත් විද්‍යාවට අපිට හරි ගුරුවරයෙක් හිටියේ නෑ නමය  පන්තියේදීත් වෙන විෂයකට ආපු සර් කෙනෙක් විද්‍යාව ඉගැන්නුවත් ඒක හරිම නීරස වුනා. එයා ඉටි පන්දම්  දැල්ල බෝර්ඩ් එකේ ඇඳගන දවස් ගානක් ඒක ඉගැන්නුවා. ඉටි පන්දම්  දැල්ල දකිනකොටත් මට තරහයි ඒ කාලේ. නමය වසරේ අන්තිම කාලේ අලුතෙන් ආපු ඉන්දික සර් අපිට විද්‍යාව උගන්නන්න පටන් ගත්තට එයාට දෙයක් කරන්න තරම් කාලයක් තිබුනේ නෑ .එත් විද්‍යාවට ආසාවක් ඇති කරන්න එයාට පුළුවන් වුනා ඒ ටික කාලෙන්. කැම්පස් අවුට් වුන ගමන් නිසා සර් හරිම ආකර්ශනීය විදියට ඉගැන්නුවා. අකුරු ලිව්වෙත් කැම්පස් එකේ බෝඩ් ලියන ෆොන්ට් එකෙන්.









යාළුවොන්ගේ කතා


ලාම්පු එළියෙන්
මේක මගේ නුවර පැත්තේ යාලුවෙක් කියපු කතාවක්
එයාලගේ ස්කොලේ කොල්ලෙට වෙච්ච වැඩක් . ඔය ඒ ලෙවෙල් වලට පාඩම් කරන කාලේ. ඒ ලෙවෙල් කිට්ටු වෙනකොට නිදාගන්න වෙලාවත් සැහෙන්න අඩුවෙනවනේ. පාඩම් කරන්න මහන්සි වෙන හින්ද ගෙවල් වලිනුත් සැහෙන්න සලකනවා ළමයින්ට . තේ එක වතුර එක ලගටම ගෙනත් දෙනවා . ඉතින් මේ අපේ යාලුවත් දවසක් කාමරේ පාඩම් කර කර ඉන්නකොට කරන්ට් එක ගියාලු එක සැරේ. ටිකක් රෑ වෙලා එතකොට , මිනිහ ඉතින් තව ටිකකින්  කරන්ට් එක එයිනේ කියලා පුටුවේ ඉන්න ගමන්ම මේසෙට ඔලුව ගහගන හිටියලු ටිකක් වෙලා. කරන්ට් එක එන පාටකුත් නැති නිසා කාමරේ කව්රුත් ඇත්තෙත් නැති නිසා මිනිහට පොඩි වැල පොයින්ට් එකක් ඔලුවට ඇවිල්ල. හෙමිහිට ඒ වැඩෙත් කරගත්තලු ඉන්න විදියෙන්ම ඇස දෙකත් පියාගන.  වැඩේ ඉවර වෙලා ලාවට ඇස් ඇරලා බලනකොට පොඩි එළියක් තියනවලු කාමරේ. ඔලුව උස්සල බලනකොට කවුරුත් ඇත්තෙත් නෑ හැබැයි කාමරේ , මේස උඩ තියනවා කියන්නේ ලාම්පුවක් පත්තු වේවි.

අකමැති වෙන්න හේතු 5ක්

මේකත් එක්තරා උසස් අධ්‍යාපන ආයතනයක රැග් සීසන් එකේ වෙච්ච් වැඩක්, අදාළ ගෑණු  ළමයාට නිවුන් සහෝදරියකුත් හිටියා එයා හිටියේ අපේ බැජ් එකේ. එකෙන් තමයි අපිට මේ කතාව ආරංචි වුනේ.
රැග් සීසන් එකේදී ඉතින් සිනීයස්ල ඇවිල්ලා තමන්ට හිතෙන හිතෙන ඒවා ජුන්නෝ ලව්වා කරව ගන්නවනේ. සමහර ප්‍රශ්නත් අහනවා .ඔහොම ඉතින් මේ ගෑණු ළමය ලඟටත් ඇවිල්ල පොඩි සද්දයක් දාල කතා කරාලු ඒ බැජ් එකේම තව කොල්ලෙක්ට. දැන් දෙන්නට දෙන්න මුණ බලාගන තියලා ඇහුවලු ගෑණු ළමයාගෙන් උඹ මුට කැමතිද කියලා. කිව්වලු නැහැ කියලා  ගත් කටටම. ආ එහෙනම් කියපන් අකමැති වෙන්න හේතු පහක් කියලා සින්නා කිව්වලු. ම්ම් දැන් ඉතින් කෙල්ල තටම තටම එක එක හේතු කියනවලු, කලුයි, උස වැඩියි, කලින් දන්නේ නෑ, ඔය වගේ හේතු හතරක් යන්නතම් කියාගත්තට පස්වෙනි හේතුවක් මතක්  වෙන්නෙම නැහැලු කෙල්ලට, ඊට එහා පැත්තේ තව සින්නෙක් ජුන්නෙක්ව අල්ලගන බනිනව ඇහෙනවලු කෙල්ලට. තෝ  වැල අදිනවා නේද කියලා ඇහුන විතරයි .කෙල්ල කිව්වලු පස්වෙනි හේතුව මෙයා වැල අදිනවා කිව්වලු. එතනින් එහාට රැග්  කරන්න වෙලා නෑ ඉතින් බඩ අල්ලන් හිනා වෙනවා මිසක්. අර කොල්ලට ඉතින් වලක් කපන වැලලෙන්න හිතෙන්න ඇති, කෙල්ල ඉතින් ඔකේ තේරුම නොදැන තමයි කියලා තියෙන්නේ . එය හිතල තියෙන්නේ සිගරට් බොන එකට කියල.

ඩයිනමෝ යකා



  අපේ තාත්තගේ පරණ YB 50 බයිසිකලේ තියන කාලේ හවසට වැඩිහරියක් තාත්තා හිටියේ ගැරේජ් වල.ලෙඩ වාට්ටුවක් ඔය බයිසිකලේ.  තාත්තට හිටියා ගජයෙක් ගැරේජ් එහෙක ඕක කොහොම හරි දුවන්න අටවල දෙන. අපි කිව්වේ සිරිසේන බාස් කියල. හිටියේ වඳුරඹ කීඹි කන්දේ  පොඩි ගැරේජ් එකක් දාගන.
සිරිසේන බාස් බයිසිකල් හදනවට අමතරව පොඩි පොඩි අත්හදා බලන වැඩත් කරා. එකසැරයක්  මිනිහට පොඩි ඩයිනමොවක්  හම්බුවෙලා තියනවා . ඉතින් මිනිහගේ දැනුමත්  පාවිච්චි  කරලා මිනිහට හිතිලා තියනවා එකෙන් ගෙදරට පොඩි කරන්ට් ලයින් එකක් දාගන්න ළඟ තිබුණ දොළ පාරත් පාවිච්ච්චි කරලා.
කොහොමහරි මෙයා අදාළ උපාංග ටික තමන්ගේ  ගැරේජ් එකෙන්ම හදාගන  ඩයිනමෝව සෙට් කරලා වතුර පාරෙන් කැරෙකෙන විදියට. මෙයාගේ වැඩ කොහොමත් ටිකක් අටවන ඒවා හින්දා ඔය ගෙදර තිබුන වයර් කෑලි එකතු කරලා තමයි ගෙදෙට්ට වෙනකම් කරන්ට් ලයින්  එක ගෙනත් තිබුනේ.
Related image



දොලේ වතුර පාරත් එච්චර ලොකු එකක් නෙවෙයි. කොහොම හරි මෙයා ඇදපු වයර් එහෙක ජොයින්ට් එකක්  කෙහෙන් හරි වතුරේ ගැවිලා  තියනවා දන්නේ නැතුව.
දවසක් ඉතින් ඔය දොළ ගාවින් යන්න ආපු වයසක ඩයල් එකක් තමන්ට ඇතිවෙච්ච සුළුදිය බරක් නිසා අල්ලලා තියනවා පයිප්පෙ දොලේ වතුරට . අමුතුවෙන් කියන්න ඕන නැහැනේ වතුරටත් වඩා මුත්‍රා වල ලවණ වැඩි නිසා කරන්ට් එක බොහොම ලේසියෙන් ගමන් කරනවා. ඉතින් අර කරන්ට් එක ලීක් වෙච්ච වතුරට වැටෙන සුළුදිය පාර දිගේ කරන්ට් එක ලේසියෙන්ම ආපස්සට එනවා . හිතාගන්න පුළුවන්නේ මොකද වුනේ  කියලා. අදාළ ස්ථානයට කරන්ට් එකක් වැදුනම . අපිට පුළුවන් වුනාට ඒ මනුස්සයට කොහේ හිතා ගන්නද ඒ වෙලාවේ . බුදු අම්මෝ යකෙක් ගැහුවෝ කියන්න විතරයිලු වුනේ . මිනිහ සිහිය නැතුව වැටිලා. තොවිල් දෙක තුනක් කරලා තමයි මිනිහ යතා තත්වෙට ඇවිල්ල තියෙන්නේ.

Related image
අපේ සිරිසේන බාසුත් කොහොම හරි  වැඩේ මිනිහගේ පිටින් යන්න කලින් හෙමීට ඩයිනමොවයි  ලට්ට ලොට්ට ටිකයි ගලෝගන ගෙදර ගෙනත් දාල.
ඔන්න ඔහොමයි ඩයිනමෝ යකාට තොවිල කරන්නේ.

අපේ ඉඩමේ විස්තරේ -2 කැකිල්ල කැලේ

මම කිව්වනේ අපේ ඉඩමේ සැහෙන්න ප්‍රමානෙක තිබුනේ කැකිල්ල ගාලවල්  කියලා  ඔය අතරේ දං , හීඹුටු වෙරළු ,බාඳුරා,  ඕකිඩ්  බඩල් හනස්ස, එහෙමත් තිබුනා. හැදෙන කාලෙට කොහොම හරි කැලේ පැනලා කඩාගන එනවා ඕවා. දං ගස් ගාව පොලොඟු ඉන්නවා කියලා අපිට අම්මලා කියලා තිබුනට බයෙන් බයෙන් හරි යනවා. ගේ වටේ තිබුන අන්නාසි ගාලවල් නිසා විසකුරු සත්තු නිතර හිටියා හැබැයි  කැලේ පැනපු වෙලාවක නම්  කවදාවත් සතෙක් හම්බුනේ නෑ අපිට ,කරදරයක් වුනෙත් නෑ කවදාවත් සතෙක්ගෙන්
බාදුරා අපේ ඉඩමේ හැම තැනම වගේ තිබුනා. බාදුරා ගොටුවල ඇතුලේ වතුර වගේ ජාතියක් තියනවා .පියන ඇරුනම සත්තු ඇතුලට යනවා ඒවා බොන්න හැබැයි උන්ට එලියට එන්න නම් එන්න වෙන්නේ නෑ කවදාවත්. අපි කරන්නේ පියන ඇරිච්ච නැති බාඳුරා ගොටු හොයාගන ඒවා බොනවා, මුලින් ලොකු ගොටුවක් කඩාගන පොඩි පොඩි ඒවගේ තියන වතුර අරකට පුරවනවා, ඊට පස්සේ ගොටුවේ යට පැත්තෙන් හිල් කරලා කට අල්ලන් ඉන්නවා.

 පොඩිකාලේ තාත්ත ගෙදර ඉන්න නිවාඩු දවස් කියන්නේ එපාකරපු දවසක් අපිට  , මොකද එයත් එක්ක නෙලන්න යන්න ඕන උදල්ලකුත් අරගන. ඉඩමේ එකම හරිය අපි හත් අට වතාවක් නෙලලා ඇති ඒ දවස් වල. මොකද නෙලුවට ඉන්දන්න දේවල් තිබුනේ නැති නිසා අයෙත් කැලේට ගියා.
පස්සේ අපි තේ පැල තවානක් දැම්මට පස්සේ නම් එලි කරපු තැන වල තේ ඉන්දුවා , කානු කපන්න වලවල් කපන්න , කපපු වලවල් වල පස් අයින් කරලා ගල් නැති පස් වලින් පුරවලා තේ පැල ඉන්දන්න  දවස් වල නිවාඩු දවස් වලට  අනිවාර්ය කාර්යයන් තමයි.

පොඩි කුඹුරු කැල්ලකුත් තිබුණා ඉඩමේ මැද හරියේ . පොඩිම දවස් වල ඕකේ වැඩ කරා මතකයි. මාත් තාත්තත් එක්ක පොඩි උදළු කෑල්ලක් අරගන කුඹුරු කෙටුවා ඊට පස්සෙනම් කවදාවත් කුඹුරකට බහින්න උනේ නෑ.

ලගකදී තාත්තා අයෙත් කුඹුර සුද්ද කරවලා වගා කරත් සරු  අස්වැන්නක් ගන්න නම් බැරිවුණා.

ඉඩමේ උසම තැන තිබුනා ගල් තලාවක් හරියටම කන්ද මුදුනේ . ගල මැද කුකුල් අඩියක් කොටලා තිබුනා ඉඩමේ මායිම ලකුණු කරන්න අපි හවසට ඔතනට නගිනවා  මොනවා හරි කන්නත් හදාගන, ගිහින් රෑ වෙනකම් ඉඳලා එනවා ,සැහෙන්න පළාතක් පෙනුන නිසා එතන හවසට හරිම ලස්සනයි.

ඔය ගලට යන්න පුළුවන් උනේ ඇත්තටම අපේ ඉඩම ගිනි අරගන මුළු කැකිල්ල යායම පිච්චුනාට පස්සේ. නැත්තම් ගණ කැකීල්ලෙන් වැහිලා තිබුනේ

ඒක  උනේ මමයි තාත්තයි කුඹුර සුද්ද කරලා රොඩු ගොඩට ගිනිතියපු එක හුළගට කැකිල්ල ගාලට ඇවිලුනා. නිවාගන්න බෑ අපි දෙන්නට උත්සාහ කරාට.

පායපු කාලයක් නිසා කැකිල්ල ගාල හෝ ගාල පත්තු වුනා පැය ගානක් , මුළු ඉඩමම ගිනි අරන් තමයි නතර වුනේ. අල්ලපු ඉඩමකටත් ගින්න  පැතිරිලා ඒ මනුස්සයාගෙ තේ ගස් ටිකක් පිච්චුනා කියල තාත්තට නඩුවකුත් දැම්මා.

නඩුවේ තීන්දුවත් හරී අපුරු එකක් වුනේ. ඒ මනුස්සය ඉල්ලුවේ රුපියල් 25000 ක අලාබයක්. ඒ කාලේ අපිට කොහෙන්ද 25000ක් තාත්ත නඩුවලට ලොයර්සලා අල්ලන්නේ නෑ තාත්තම තමයි කතා කරන්නෙ. තාත්ත අපේ තත්වේ කියල පොරොන්දු වෙලා තියනවා තාත්ත ජිවත් වෙලා ඉන්නකම් මාසෙකට රුපියල් 100 ගානේ ගෙවන්න එක ඉතින් 25000ට වැඩි උනත් ඉන්න කම් ගෙවන්නම් කියල තිබුනේ. හැබැයි තව කොන්දේසියකුත් එක්ක ඒ රුපියල් 100 අදාළ පුද්ගලයා ඇවිත් ගෙනියන්නත් ඕන කියල අපේ ගෙදරින් මොකද අම්මා විතරයි ගෙදර ඉන්නේ එයාට පොඩි ළමයි දාල කොහෙවත් යන්න බැරි නිසා. තාත්තගේ ඉල්ලීම සාධාරණ එකක් සේ සලකලා නඩු කාරයා ඒ විදියට එකඟ වුනා. හැබැයි නඩුව දාපු මනුස්සය කැමති උනේ නෑ කාටද පුළුවන් රුපියල් සියක් අරන්යන්න මාසේ ගානේ ගෙදරකට එන්න. කතන්දරේ එතැනින්ම ඉවර වුණා.

අපේ ඉඩමේ විස්තරේ - 1 නමක් නැති දොළක්

දකුණු පළාතෙත් මායිමට වෙන්න ගාලු දිස්ත්‍රික්කේ තමයි අපේ ගේ තියන ඉඩම තියෙන්නේ. නගරේ ඉඳන් ටිකක් දුර නිසා ටිකක් දුෂ්කර පලාතක් තමයි. අපේ පාරේ තමයි ලංකාවේ එකම දිස්ත්‍රික්කයක් ඇතුලේ වැඩිම දුරක් යන බස් එකක් තියෙන්නේ , ඒ දෙල්ලව ගාල්ල බස් එක. ඒක  76Km යනවා . අපි ඉන්නේ එපාරෙත් ටිකක් ඇතුලේ තවලමින් පිටිගල පාරේ. 4km විතර ඇතුලට වෙන්න.         
          ඉස්සර රජයෙන් මධ්‍යම පන්තික මිනිස්සුන්ට තිබිලාඉඩම් බෙදල දෙනකොට අපේ පප්පටත්(තාත්තගේ තාත්ත) අක්කර පහක ඉඩමක් හම්බුවෙලා තිබුනා ඒකෙ තව අක්කර තුනක විතර රිසිවේෂන් එකකුත් තිබුන නිසා අපිට අක්කර අටක් විතර අයිති වෙලා තියනවා.
මුලින් මුළු ඉඩමේම රබර් ඉන්දල තියනවා , සරින් සැරේ ගිනි ගැනීම් නිසා රබර් ගස් ටික විනාස වෙලා . තැන්  තැන්  වල තාම ඉතුරු වුනු ගස් කීපයක් තියනවා. මුලින් අපේ බාප්පා කෙනෙක් පොඩි ගෙයක් හදාගන කාලයක් පදිංචි වෙලා ඉඳලත් තියනවා ඉඩමේ එක තැනක . තාම තියනවා එයා ඉන්දපු  පොල් ගහකුත් එතන.

ගාල්ල මාතර දෙනියාය තේ වතු තාත්තා වතු බංගලා වල ජිවත් වෙලා කාලයක් මම ඉපදෙන්නත් ටික කාලෙකට කලින් තමයි මේ ඉඩමේ පදිංචියට ඇවිත් තියෙන්නේ 1981 විතර. පොඩි මැටි ගෙයක් මැටි  හදා ගන එකේ පදිංචි වෙලා ඒකම පස්සේ හුණු කපරාරු කරලා අපි අවරුදු 16ක් 17ක් විතර හිටියා.
 ගේ තිබුන හරිය ඇරෙන්න ඉඩමේ සැහෙන්න ප්‍රමාණයක් කැලේට ගිහින් තිබුනේ මට මතක කාලේදී. කැකිල්ල මුළු ඉඩමම වහගන තිබුනා. ඉඩමේ තුන් පැත්තක්ම දොළ පාරවල් තියනවා. එක කෙළවරක මීටර් දෙක තුනක් උස පොඩි දිය ඇල්ලකුත් හැදිලා තියනවා. පොඩි කඳු ගැට දෙකෙන් උසම එක මුදුනේ ලොකු ගලක් තියනවා එකේ මැද තමයි  මායිම් ගල කොටලා තියෙන්නේ. පොඩි කාලෙනම් ඒ හරියට ගියේ නෑ අපි , අපිව වැහෙන්න තරමට කැකිල්ල තිබුන නිසා.

අපේ ගේ තියන ඉඩමේ කෙලවරේ තව දොළවල් දෙකක් එකතු වෙනවා , ඉස්සරනම් ලොකු වලක්  තිබිලා තියනවා අලි නාවන්න පුළුවන්. දැන් නම් හුගක් ගොඩවෙලා දන්හිසටවත් වතුරේ නෑ  එකේ.
වහින වෙලාවට දොළවල් දෙකම උතුරලා වතුර යනවා. කඳු වලින් එන නිසා හරිම සැරයි වතුර පාර . පොඩි වැස්සකට උනත් ලොකු වතුරක් එනවා . හැබැයි වැඩි වෙලා තියෙන්නේ නැහැ. ගෙදරට  දොලෙන් එන්න ඒදණ්ඩකුත් බැහැල එන්න සපත්තු පාලමකුත් තියනවා. සමහර වෙලාවට ඒදණ්ඩත් ගහගන යනවා දොලේ වතුර වැඩි වුනාම.
දොළ ගලලා වතුර බැස්සම අපි දුවනවා දොළ ගාවට අලුතෙන් ගොඩට ඇවිල්ල තියන වැලි ගොඩවල් වල මුලින්ම අඩිය තියන්න. දොලේ තිබුන කුණුරොඩු කහල ගොඩවල් ගහගන ගිහින් හරිම පිරිසිදුයි කාලයක් යනකම්. දොලේ ඕන තරම් ගල් තියන නිසා දොළ හරස් කරලා බඳින එක අපේ ලොකු ප්‍රොජෙක්ට් තමයි ඒ කාලේ. දොලෙන් නාන්න නම් අපි එච්චර කැමති වුනේ නෑ . මාළු අල්ලන්න වුනත් එච්චර උනන්දුවක් තිබුනේ නෑ . හැබැයි ඉරටුවල පොල් කෑලි ගහල ගල් අස්සේ ඉන්න ඉස්සෝ බලන්න සැහෙන්න වෙලාවක් ගත කරා ඉස්කෝලේ ඇරිලා ඇවිල්ල. ගල් අස්සේ ඉන්න ඉස්සෝ එලියට එන්නේ නෑ  ලේසියෙන් අඬුව විතරයි එලියට දාන්නේ. අපි පොල් කෑල්ල ඈත් කර කර කොහොම හරි උගේ සයිස් එක බලන්න ට්‍රයි කරා මිසක් අල්ලන්න හැදුවේ නෑ
දොලේ මාළු අල්ලන වෙනම සෙට් හිටියා . උන් එක්කෝ දිමි බෙහෙත් දානවා දොලේ උඩහින් නැත්තම් කොළ තලලා වතුරට දානවා. ඒ කොළ ජාතියේ නම නම් මම දන්නේ නෑ . අපි කිව්වේ සිලිං බිලිං කියලා . එවයි කරල් වෙලුනාම හොල්ලනකොට සිලින් බිලින් ගාන නිසා. ඕවා දැම්මම ඉතින් මාළු පැටවාගේ ඉඳල මැරෙනවා. ඉස්සොන්ගේ ඇස් පුපුරනවා. මහා පාප කර්මයක්. ගොඩක් ඉස්සර නම් මම  දැකල තියනවා දිය බල්ලා කියනා සතත් එකේ හිටියා  කලාතුරකින් ඉබ්බොත් හිටියා . දැන් නම් දණ්ඩියෙක්වත් නෑ මිනිස්සු කුඹුරු වලට බෙහෙත් ගහන්න පටන් ගත්තට පස්සේ.
තව හිටියා වතුර උඩ දුවන මකුනෙක් වගේ සතෙක් හරිම වේගෙන් උන් එහා මෙහා යනවා බලාගන්න වත් අමාරුයි. උන්ව කෝටු වලින් ගහල මරණ එක නම් අපි කරා .
අපි ඇල්ලුවේ දොලේ ඉන්න කුනිස්සෝ .උන්ව අල්ලන්න හරි ලේසියි අතට නිකන්ම එනවා. ජෑම් බෝතල්වලට වතුර පුරවලා උන්ව ඇති කරන්න හැදුවට දවස් දෙක තුනක්වත් උන් ජිවත් වෙන්නේ නෑ විදුරු බෝතල්වල.
ගෙදර ඉන්න දවසට කලිසම් දෙක තුනක්වත් මාරු කරන්න වෙනවා දොලේ වැඩ වලින් තෙමාගන්න නිසා.

මොටර් බයිසිකල් කතා 1 - JAVA / YAMAHA YB 50


අපේ තාත්තා ඉස්සර ඉඳලම මොටර් බයිසිකලයක් පාවිච්චි කරලා තියනවා . එක එක බයික් පාවිච්චි කරලා තියනවා තාත්තා  කාලෙන් කාලෙට , මට මතක මුල්ම කාලෙ ගෙදර ගොඩ ඇදපු  ජාවා වර්ගයේ බයිසිකලයක් තිබුනා . ඒක තාත්තා අපි දැන් ඉන්න තැන පදිංචි වෙන්න කලින් පාවිච්චි කරපු එක. පාරත් අපේ ඉඩමත් අතරේ තිබුන දොලෙන් ගෙදරට ගෙන්න විදියක් නැති නිසා ඒක කැලි ගලවල ගෙදරට ගෙනත් දාල තිබුනේ .   අයියයි මමයි වෙලාවක් තිබුන ගමන් කරන්නේ  තාත්තාගෙ යතුරු  සෙට් එක අරගෙන එකේ ඉතුරු කෑලි ටිකත් ගලවන එක . ලොකු නට් එකක් ගලවන්න තරම් හයියක් අපිට තිබුනෙ නෑ. කොහොම හරි චැසිය ඉතිරි වෙනකම් කැලි ටිකට අපි වග කිව්වා.





චැසියේ  මේන් ස්ටෑන්ඩ් එක ගහල අයියයි මායි නැගල බයිසිකලෙ පදිනවා වගෙ ඇක්ට්  කරකර හිටපු දවසක ස්ටෑන්ඩ් එක පැන්නා අපේ දැඟලිල්ලට. දඩොං, දෙන්නම බිම ක්ලච් හැඬල් එක මගේ උඩි පතුලෙ ඇනිලා  නැවතුනේ ඉස්පිරිතාලෙ. බොරු බයිසිකල් පැදිල්ලත් එතනින් ඉවර වුනා .


ඊට පස්සෙ ගෙදර තිබුන තණකොළ බෙහෙත් ගහන මැෂින් එක  විකුනලා තාත්තා ගෙනාව යමහා YB 50 බයිසිකලයක්. ඒක  විකුනපු එකට වැඩියෙන්ම සතුටු වුනෙ මම. ඒක  අර පෙට්‍රල් එන්ජිමක් තියන ජාතියෙ එකක්. පුදුම සද්දයක් තියෙන්නෙ ස්ටාර්ට් කරාම . මං පරාන බයයි එ සද්දෙට. මැෂින්  එක එලියට ගන්න  කොට මං ඉන්නෙ දොර  මුල්ලෙ.
Image result for backpack motorized sprayer
        තාත්තා බයිසිකලෙ පැද්දෙ කොන්ද කෙලින් තියාගෙන ඉතින් තාත්තාට නමකුත් දාලා තිබුණා කෙලින් මහත්තයා කියලා. එ දවස් වල පලාතටම බයිසිකලයක් තිබුන, ඉංග්‍රීසි කතා කරන කෙනෙක් හිටියා නම් අපේ තාත්තා විතරයි.
 YB 50යේ සයිලන්සරේ කෑල්ලක් හැලිලා තිබුනා කාලෙකදි . ඉතින් තාත්තා ගෙදර එන්න පැය භාගෙකට කලින් උනත් අපි දන්නවා තාත්තා එනවා කියල සද්දෙන්. බයිසිකලේ මගදී කැඩුනොත් ගෙදර කිට්ටුව නම් අනිවාර්යෙන් තාත්තා ඒක එතන දාලා පයින් ගෙදර එනවා. අපි ගිහින් තල්ලු කරන් එන්න වෙනවා ගෙදරට.

ඒ බයිසිකලේ වැඩිපුර තල්ලු ස්ටාර්ට් තමයි. උදේ තාත්ත වැඩට  යනවා නම් අපිටත් නැගිටින්න වෙනවා අනිවාර්යෙන් බයිසිකලේ තල්ලු කරන්න.

මොටර් බයිසිකල් කතා 4 - BAJAJ BYK / TVS ඇක්සිඩන්ට්

Image result for bajaj byk 100


අපේ ගෙදර තාත්තයි මමයි  අයියයි තුන් දෙනාම කැමති වුනේ ජපන් බයික්  වලට ඉන්දියන් ඒවාට එච්චර කැමති වුනේ නෑ . පස්සේ අපේ පොඩි මස්සිනා ඉන්දියන් බයික් කීපයක්ම පාවිච්චි කරා. මමත් ඒවා පැද්දා තියන වෙලාවට. අයිය නම් බයික් පදින එක එහෙමම අතෑරියා ,ලයිෂන් ගත්තෙත් නෑ බයික් වලට. ගොඩක් පස්සේ තාත්තට අයෙත් බයික් පදින්න ඕන වෙලා බජාජ් බයික් එකක් අරගත්තා BYK කියන මොඩල් එක. එකත් ටිකක් පොඩි බයිසිකලයක් 100cc . මගෙත් ගමන් බිමන් ටික කරගත්තේ එකෙන් තමයි නිවාඩුවට ගෙදර ආවම.. මමත් පොඩි ජොබ් එකක් කරා එතකොට.
දවසක් අපේ ලොකු අම්මා අපේ ගෙදර ඇවිල්ල ඉඳලා යන්න හදනකොට මං කිව්වා මං පාරට එක්කන් යන්නම් කියලා. කොහෙද එයාට බයිසිකල් වල ගිහිල්ල පුරුද්දක් ඇත්තෙම නැහැ , ඒ පාර මං  ගියා ළඟ ගෙදරක ත්‍රීවිල් එකක් තිබුනා එක එක්කන් එන්න බයිසිකලෙන් . ලඟට යන නිසා හෙල්මට් එක දාගත්තෙත් නෑනේ. එහේට ගියා එහෙත් ඒ අයිය හිටියේ නෑ . එතනින් කෝකටත්  කියලා ප්‍රධාන පාර පැත්තට ආවා  එහෙම්ම . එතනත් ත්‍රීවිල් එකක්වත් නෑ. දැන් මොකද කරන්නේ කියලා හිතලා අපේ බාප්පලාගේ ගෙදර තියන ත්‍රිවිල් එකවත් අරන් යනවා කියලා ප්‍රධාන පාරේ පොඩ්ඩ දුරක් යනකොට ආවේ නැතා ට්‍රැෆික් බයික් එක . හෙල්මටුත් නෑ ලයිෂනුත් නෑ , මාව අරන් ගියා බයික් එකත් එක්කම පොලිසියට. දඩ කොලෙකුත් දුන්න.
පොඩි මස්සිනා ගෙදර ආවා විතරයි මිනිහා දඩ කොලේ අරගන පොලිසියට ගිහින් එයා දන්නා රාලාහාමි කෙනෙක්ට කියලා වැඩේ ගොඩ දාගත්තා (කියලා මට කිව්වා)

පොලිසියේ තාත්තා හිටියත් විස්වාස කරන්න එපා කියන්නේ ඇත්ත කියලා මට තේරුනේ දඩේ නඩුවක් වෙලා වරෙන්තුත් වෙලා රෑ පොලිස් ජීප් එක ගෙදරටම ඇවිල්ලා මාව කුදලගන ගියාට පස්සේ. යන්තම් වෙන ඇඳුනුම් කමක් නිසා කුඩුවේ නොයිඳ උදේට බාර වෙන්න ගෙදර එන්න  පුළුවන් වුනා. පලවෙනි දවසේ වරෙන්තුවට උසාවි ගියා සති දෙකකින් අයේ දඩේ ගෙවන්න උසාවි ගියා. රස්සාවකුත් නැතුව හතේ හත වැදිලා හිටපු කාලේ.

දැන් නම් ලයිෂන් ගන්න කාලේ හරි කියලා හිතුවේ ඒ පරිප්පුව කෑවට පස්සේ.
ඒ පාර මං ගියා ලර්නස් එහෙකට ලයිෂන් ගන්න වාහන ත්‍රිවිල් බයික් වලට. ඔක්කොම පුරුදු වෙලා ට්‍රයල් දවසේ තාත්තත් එක්ක ගාල්ලට ගියා අර BYK බයික් එකෙන් . ට්‍රයල් එකට කලින් මං අපේ බයික් එකෙන් අට ගහලත් පුරුදු වුනා.  එතකොට ආපු ලර්නස් එකේ එකා කිව්වනේ මේ බයික් එකෙන් අට ගැහුවොත් ඔයාට පදින්න වෙන්නේ අන්ඩර් 100c c  ඒවා විතරයි කියලා , ඒ කියලා මට දුන්නා එයාලගේ TVS බයික් එකක් 110cc . මට දැන් ඒක පුරුදුත් නෑ ,අට ගහන්න පුරුදු වෙන්න  වෙලාවකුත් නෑ . ඕන එකක් කියලා අට ගහන්න ගියාට මගේ කකුල බිම වැදුනා . බයික් ට්‍රයල් ෆේල්, අවුරුදු 10ක් විතර බයික් පැදපු මට තාමත් බයික් ලයිෂන් නෑ , ආයේ  ගන්න ට්‍රයි කරෙත් නෑ.




එච්චර කල් බයික් පැදපු   මං  දෙසැරයක් ඇක්සිඩන්ට් වෙලා තියනවා. දෙකම වුනේ අනුන්ගේ බයික් පදින්න ගිහින් දෙකම TVS බයික් .දෙසරේම හැප්පුණේ ත්‍රී වීල් වල.
 එකක් වුනේ පොඩි  අක්කගේ වෙඩින් එක ඉවර වෙලා එද්දි. මස්සිනගේ යාලුවෙක්ගේ බයික් එකක් ගෙදරට ගෙනිහින් දෙන්න තිබුණෙ මට. හෙල්මට් එකක් තිබුනෙත් නෑ.   අපේ පැත්තෙන් ගියපු වෑන් දෙකට මැදින් මං ගියේ බාෙක්කුවක් ගාවදි ඉස්සහින් ගිහිපු වෑන් එක බ්‍රේක් කරා මට බයික් එක ඒ  ගානට බ්‍රේක් කරන්න බැරිවුන නිසා මං පැත්තෙන් ඔවටේක් කරා. ඉස්සරහින් ආපු  ත්‍රී වීල් එකේ දඩොං ගාලා වැදුණ විතරයි මතක, මං උඩින් ගිහින් වැටුනා තුවාල මුකුත් නෑ අතේ ඇඟිල්ලක  ඇටයක්  කැඩිලා තිබුනා. වැරැද්ද සම්පූර්ණයෙන්ම මගේ එක නිසා හිටපු කට්ටිය ත්‍රී වීල් එකේ මිනිස්සු ශේප් කරල තිබුනා සල්ලි දීලා. බයික් එකත් අපේ ගානේ හදල දෙන්න වුනා.

දෙවෙනි එක වුනේ ගෙවල් ගාවදිමයි.  අක්කත් එක්ක රෑක කොහේහරි යන්න පිටත් වෙලා මිටර් 100 ක් වත් ගියේ නෑ ත්‍රී වීල් එකක් අවා හෙඩ් ලයිට් ගහගන, මට මෙලො දෙයක් පෙනුනේ නෑ පුළුවන් තරම් අයින් කරගත්තා, එත් මේයකා මාවත් හප්පගන කරණමකුත් ගහලා නතර වුනේ. මිනිහ  නම් හාෙඳටම බීලා හිටියේ. මට තුවාල නැති වුනාට අක්කගේ මුනේ මැහුම් දාන්න වුනා. එ බයික් එකත් ගෙදර වැඩ කරපු වඩු බාස් කෙනෙක්ගේ එකක්.

ගෙදරට මස්සිනා ත්‍රිවිල් එක ගත්තට පස්සේ කොහොමත් බයික් පැදිල්ල සැහෙන්න අඩු වුනා .කොහොමත්  ත්‍රිවිල් ලයිෂන් තිබුනේ මට විතරක් නිසා ගෙදරින්. මගේම වාහනයක් ගත්තට පස්සේ නම් බයික් ත්‍රිවිල් දෙකම අයින්ම කරලා දැම්මා.
තාත්තත් වයසට යනකොට බයික් එක පදින එක අඩු වුනා BYK බයික්  වලට පාට්ස් හොයන්නත් අම්මරුයි. තාත්තා තව ඒ ජාතියේම බයිසිකලයක් හොයාගන ඇවිත් එකෙන් කැලි ගලවා ගලවා අරකට හයිකරගන ටික කාලයක් දිව්වා. දැන් නම් ඒක කොහේ තියනවද මන් දන්නෙත් නෑ. ගෙදර නම් නෑ.

මොටර් බයිසිකල් කතා 3- YAMAHA TZR

           කාලයක් අපේ ගෙදර බයිසිකලයක් නැතුව තිබුනා . අයියා කොලඹ රස්සාවකට ගියාට පස්සේ  එයා ගත්තා යමහා TZR එකක් පාවිච්චි කරපු,  එයා ටික කාලයක් පැදලා, මමත් AL කරලා ගෙදර හිටපු නිසා ගෙනල්ලා ගෙදර දැම්මා. මද්දුම අක්කා ගෙදර ඉඳන් රස්සාවට ගිය නිසා එයාගේ ට්‍රාන්ස්පෝට් එක කරේ මම බයිසිකලෙන්. පෙට්‍රල් නම් බවුසරයක් තිබුණත් මදි ඒකට . තාත්තාත් ඉඳලා හිටලා පැද්දා ඒක කොල්ලා වගේ. වැඩේ තිබුණෙ අපි දෙන්නගෙම කකුල් බිම වදින්නෙ නෑ නැග්ගම. නවත්ත ගන්නකොට මොකක් හරි උස තැනක් බලලා අඩිය තියා ගන්නෙ. TZR එකෙන් මම ටිකක්  දුර ගමනුත් ගියා හැබැයි ලයිෂන් නම් තිබුනෙ නෑ මට. තාමත් නෑ බයිසිකල් වලට. පොලිසියට කීප සැරයක්  අහු වුනත් දඩයක් නොකා බේරුනා කොහොම හරි.





TZR එක ටිකක් පරණ එකක් නිසා ටික කාලයක් යනකොට ලෙඩ දෙන්න ගත්තා. ගමේ එ වගේ බයික් වෙන කොහේවත් තිබුනෙ නැති නිසා බාස්ලත් හිටියෙ නෑ ඒකට  අතගහන් පුළුවන්. Disk brakes. Radiator, valve system ඔය වගේ ගජමැටික් තිබුන බයික් එකක් වුනු  නිසා ඒක .

අයියා තීරණය කරා ආපහු බයික් එක කොළඹ අරන් යන්න හදන්න. දෙන්නත් එක්ක පිටත්වුනා  ගෙදරින් ඉරිද දවසක දවල්ට කාල එහෙම. පිටිගල පාරේ බොරලුහෙනෙන් පලවත්තට දාල අපි මතුගමට වෙනකම් ගියා කිසි අවුලක් නැතුව,  අපි තීරණේ කරා ගාලු පාරට දාන්නේ නැතුව හොරණ පිළියන්දල පැත්තෙන් යන්න මතුගම පහුවෙලා නෑබඩ පාරේ චූටි දුරක් යනකොට බයික් එකේ කළු දුම දැම්මා . තව ටිකක් යනකොට මිස් කරලා එන්ජින් එක නැවතුනා.



කොච්චර ට්‍රයි කරත් ස්ටාර්ට් වුනේ  නෑ. තල්ලු කරගෙන ටික දුරක් ගියා ගැරේජ් එකක් හොයාගන  කොරේ පිටට මරේ කියල වැස්සකුත් කඩන පාත් වුනා , ඔහොම  තෙමී ගන යන්තම් කඩයක් ගාවට සෙට්වුනා. මිනිස්සුගෙන් අහගන ළඟ තිබන  ගැරේජ් එහෙකට ගියත් මේ බයිසිකලේට ඇත ගහන්න කවුරුත් කැමති වුනේ  නෑ . ආයෙත්  තල්ලු කරගන තව ගැරේජ් එකක් හොයන් ගියා. නෑබඩ පාරේ ගෙවල් තිබුනෙත් හැතැම්මට එකයි. කීප තැනකටම ගියත් කාටවත් බැරි උනා ලෙඩේ හොයා ගන්න. දැන් රෑත් වෙලා. බයිසිකලේ දාලා යන්නවත් බස් ඇත්තෙත්  නෑ ඒ  පාරේ රෑ  වුනාම . අන්තිම සැරේටත් කවුද කියපු ගැරේජ් එහෙකට අපි දෙන්න තල්ලු කරන් ගියා. එතකොට නම් හොඳ පණ ගිහින් අපේ ඇඳුනුත්  තෙතයි තෙමිලා, බඩත්ගිනියි. රෑ 11විතර වෙනකම් එ ගැරේජ් එකෙත් ට්‍රයි කරා ගොඩ දාගන්න. අයියට අයෙත් මේක අරන්යන්න වෙන දවසක මෙහේ එන්න අමාරුත් නිසා
 අයියා කිවුවා මේක හරියන්නෙ නෑ වාහනේක පටවන් අරන් යමු කියලා. ගෙදරින් හාංකවිසියක්වත් දන්නෙ නෑ අපිට වෙච්ච අලකලංචිය ෆෝන් තිබුනෙ නැහැනෙ එ කාලෙ කියන්න. යන්තම් එතන හිටපු අයිය කෙනෙක් එයා දන්නා වාහනයක් කතා කරලා දුන්න පටවලා අරන් යන්න. ඒ රැ බයිසිකලේ වාහනේට තියලා ගැට ගහන්න දෙයක් හොයන්න හම්බුනේ නෑ ,ඉතින් අපි දෙන්නට සිද්ද වුනා මාරුවෙන් මාරුවට ලොරියේ පිටිපස්සේ ඉඳගන බයිසිකලේ අල්ලන් යන්න. කොහමද තෙත ඇඳුම් එක්ක බඩගින්නේ ලොරියේ පිටිපස්සේ යනකොට ආතල් එක.
කොහොම හරි යන්තම්  රෑ 2ට විතර නුගේගොඩ අයියගේ බොඩිමට ආවා ජිවිතේ කාපු  හොඳම පරිප්පුවකුත් කාල.

මොටර් බයිසිකල් කතා 2 - YAMAHA CHAPPY

YB 50 පාවිචිචි කරලා තාත්තත් ඇති වුනාම ඒක  විකුනලා ගෙනාව යමහා චැපියක්. ඒක ඒ කාලේ ජනප්‍රිය හොන්ඩා චැලිය වගේම තමයි. බයිසිකලේ පොඩි නිසා හරි හුරු බුහුටියි, අනිත් එක රිකන්ඩිෂන් එකක් නිසා ටිකක් අලුත් අපිට ඉතින් තල්ලු කරන්න ඕන නැති නිසා නිවන් දැක්ක වගේ.  තාත්තා කතරගමත් ගියා එකෙන් අම්මත් එක්ක. මාත් මුලින්ම  බයිසිකල් පදින්න පුරුදු වුනේ  එකෙන්  තමයි. ඒ දවස් වල තාත්තා වැඩකරේ කොළඹ නිසා බයිසිකලෙන් තමයි ආවේ ගියේ.

කොළඹ රස්සාව නැති වුනාට  පස්සේ තාත්තා බයිසිකලෙන් කීප සැරයක්ම ඇක්සිඩන්ට් වුනා. ටික කාලයක් එකෙන් තාත්තා බයිසිකල් පදින එක නතර කරලා තිබුනා .බයිසිකලේ විකුනුවෙත් නැහැ. ගෙදර නවත්තලා තිබුනේ අපි කාටවත් පදින්න දුන්නෙත් නෑ හැබැයි, බයිසිකලේ ගෙදර ගෘහ භාණ්ඩයක් වෙලා තිබුණා සෑහෙන්න කාලයක්.


අපේ ලොකු මස්සිනා ගෙදර ආපු  වෙලාවක මේක ආයෙත්  දුවිලි ගසල එලියට අරගත්තා. කිසිම සර්විස් එකක් නැතුව පෙට්‍රල් දාපු ගමන් ස්ටාර්ට් උනා. මම බයිසිකල් පදින්න පුරුදු වුනෙත් ඒ වෙලාවේ. අවුරුදු ගානක් නිකම් තිබුන නිසා  ලයිෂන් ඉන්සුවරන්ස් මුකුත් තිබුනේ නෑ. අපි ඔය පොඩි පොඩි ගමන් වලට පාවිච්චි කරා ගෙදර තියාගන. පොලිසියට කීප සැරයක් අහු උනත් ඒ කාලේ ට්‍රැෆික් වලට පොලිසියෙන් එච්චර එලෙව්වේ නැති නිසා දඩයක් නම් කෑවේ  නැහැ. 

අලුතෙන් හෙල්මට් එකක් ගන්න විදියක් තිබුනේ නැති නිසා අපේ ලොකු මස්සිනාගේ  ෆුල් ෆේස් හෙල්මට් එකක් තමයි මං පාවිච්චි කරේ චැපිය  පදින්න . ඒක දැම්මම මං  නිකන් ඔලු බක්කෙක් වගේ . කාලයක් නිකන් තිබුන නිසාත් අපි කවදාවත් සර්විස් කරෙත් නැති නිසා බයිසිකලේ ටික ටික ලෙඩ දෙන්න ගත්තා . ගමනක් ගියොත් අනිවාර්යෙන් මොකක් හරි අවුලක් නැතුව එන්න බැරි වුනා. අපේ පොඩි මස්සිනා එයාගේ මාමගේ ගැරේජ් එකට හදන්න අරන් ගිය ගියාමයි යේ අපේ ගෙදරට ආවේ නෑ ඒ බයිසිකලේ.


(චායා රූප  අන්තර්ජාලයෙනි )

කම්බි පාලමෙන් එගොඩට

      



 මං පුංචි කාලේ අපේ ගමට හරි හමං  පාරක් තිබුනේ නෑ  ලග තිබුන ටවුන් එක තවලම ගිං ගඟෙන්  වෙන් වෙලා තිබුන නිසා වාහනයක් එන්න පුලුවන් කමක් තිබුනේ නෑ . වාහනයක් එනව නම් කිලෝමීටර් 40ක් විතර  රවුමක් එන්න ඕන නෙළුව පැලවත්ත හරහා  . කේබල් වලින් එල්ලුන කම්බි පාලම්  දෙකකින්  තමයි ගමට එන්න තිබුනේ ගඟ හරහා. එකක් තිබුනේ ගඟ සිරිය කියන තැන අනිත් එක බටහේන . ගඟ සිරියෙ පාලම ගං  ඉවුරට වඩා ගොඩක් උස නිසා   පඩි පෙලකුත් එක්ක තිබුණේ
 ඒක නිසා මෝටර්  බයිසිකලයක්වත් එගොඩහට ගන්න බැරි  උනා ඒකෙන් . බටහෙනේ පාලම ගං ඉවුරේ ගානටම තිබුන නිසා එකෙන් නම් මෝටර් බයිසිකලයක් යන්න එන්න පුළුවන් කම තිබුණා. එකෙන්  තමයි  අපේ තාත්තත්    ආවේ ගියේ බයිසිකලෙන් . පාලම ටිකක් පටු නිසා බයිසිකල් වල සයිඩ් කන්නාඩි පාලමේ වැදිලා ගඟට වැටෙනවා නිතරම.  ඒ පාරෙත් එක තැනක ලී කොටං  දාපු පාලමක් තිබුනා ඇළක් හරහා . ඇළ හරහා යකඩ පීලි දෙකක් උඩ ලී කොටන් දාලා තිබුණේ වාහනේකට නම් ලේසියෙන් යන්න පුළුවන් වුනාට බයිසිකල් යන්න ටිකක් අමාරුයි. , පයින් යන කොටත්  ටිකක් ප්‍රවේසමෙන් යන්න ඕන කොටන් කැරකිලා  කකුල් කොට අස්සට යන නිසා. මගේ කීප සැරයක්ම වුන නිසා මං දන්නේ .
මොකද මට ඒ දවස් වල  අනිවාර්යයෙන්ම සතියට දවසක් හිනිදුම ඉස්පිරිතාලේ හරි බටහෙනේ ආයුර්වේදෙට හරි යන්න වුනේ  ඔය පාලමෙන් අම්මත් එක්ක. පොඩි කාලේ මට ලෙඩ වලින් නම් අඩුවක් තිබුනෙම නෑ.
බටහේන පාර  පයින්වත් යන්න පුළුවන් තත්වෙක තිබුනේ නෑ වැස්සට හෝදගන ගිහින් ගල් මතුවෙලා තිබුනේ හොදටම,  ඉස්පිරිතාලේ ගිහින් එනකොට කකුල ගල්වල වද්දගන තුවාලයක් නම් නැති වුනේ කලාතුරකින්.
ගඟ සිරිය පාලම  තිබුන පාර  මඩ වලවල් වලින් අඩුවක් තිබුනේ නෑ කුඹුරු මැදින් වැටිච්ච පාරක් නිසා . ට්‍රැක්ටර් ගිහිල්ල අලි නාවන වලවල් පාරේ . අපි ස්කොලේ ගියේ ඒ පාරේ . වැහි  දවසට අපි ඉස්කෝලේ ගියේ සපත්තු දෙක අතේ අරගන, පාලමෙන් එගොඩට ගිහින් තමයි සපත්තු  දාගත්තේ . සුදු කලිසම් අඳින කාලේ දණහිසට වෙනකම් නවාගන යන්න ඕන වහිනකොට නැත්තම් මඩ ඉහිලා කලිසම් ගන්න දෙයක් නැතිවෙනවා . ඉස්කොලෙටත්  ගෙදර ඉදන්   කිලෝමීටර් 4ක් විතර තිබුනා. මං ඉතිං ඉස්කෝලෙ ගිහිපු අවුරුදු 13න් 12ක්ම ගියේ පයින්ම තමයි. පුට් සයිකලයක්වත් නැති නිසා අපිට. පොඩි කාලෙනම් පුට් සයිකල් තිබුන සමහර අයියලා මාව දාගන එනවා ගේ ගාවට. ඒ එනකොටත් වැඩිපුර එන්නේ පයින් කඳු, මඩවලවල් වල බැහැ බැහැ එනකොට. උදේට වැස්සේ නැත්තම් අපි කුඩ අරන් යන්නේ නැති නිසා හවසට වැස්සොත් තෙමි තෙමීම එන්න වෙනවා , අපේ පැත්තට වහින්න ගත්තම ටික වෙලාවක් නෙවෙයිනේ වහින්නේත්. සමහර දවසට බෑග් එක ස්කොලේ ළඟ ගෙදරක තියලා තෙමි තෙමි ගෙදර යන්නේ පායනකම් බලන් ඉඳලා බැරිම තැන.
Related image


          වැල් පාලමෙන් තිබුනේ කේබල්  උඩ ලෑලි දාල දෙපැත්තෙත් අල්ලන්න කේබල් ඇදල තියෙන්නේ. ඕකේ  යන එකත් ටිකක් ඇඩ්වෙන්චර් වැඩක්. නුපුරුදු කෙනෙකුට පාලම මැදට ගියාම පැද්දෙන පැද්දීල්ලට චු යනවා . අපේ උනුත් ඉතින් බයෙන් බයෙන් යන කෙනෙක් දැක්කම තවත් පාලම පද්දනවා. ටික කාලයක් යනකොට පාලමේ ලෑලි  දිරලා එක එක අඩුවෙනවා එතකොට වැඩේ තවත් දරුණු වෙනවා. බයෙන් බයෙන් යන කට්ටිය පාලමේ දෙපැත්තේ තිබුන කේබල් අල්ලගන යනකොට අනිවාර්යෙන් අත  තුවාල කරගන්නත් වෙනවා. මොකද කේබල් වල කම්බි තැනින් තැන මතුවෙලා තියන නිසා


අවුරුද්දකට දෙකකට   සැරයක් ඔය වැල් පාලමේ ලෑලි මාරු කරලා දිරපු  කම්බි මාරු කරලා අලුත් වැඩියා කරන්න  වෙනවා . කොහොමත් ප්‍රාදේශීය සභාවෙන් ඒකට සතියක් දෙකක් ගත්තා . ඒ කාලෙට ගඟෙන් එගොඩ වෙන්න සභාවෙන්  පාරුවකුත්  ගමේ මිනිස්සුන්ගෙත් උණ පහුරකුත් දානවා . අපිට නම් ෆුල් ජොලි එකාලෙට. ස්කෝලෙට පරක්කු වෙලා ගියාට අව්ලකුත් නෑ ඒකාලෙට . පාරුව තියන ගං ඉවුරට බහින්න හරි පාරක් තිබුනේ නෑ. ඒකෙ බහින්න ගිහින් ලිස්සලා පස්ස බිම ඇනාගන්නත් වෙනවා කීප දෙනෙකුට දවසකට.
පොරවල් වෙන්න කැමති සමහරු නම් පාලමේ ලෑලි නැති කම්බි දිගේත් එගොඩට ගියා . ඉස්කෝලේ ළමයින්ගේ නම් සල්ලි ගත්තේ නැතුවට ගමේ මිනිස්සුන්ගෙන් සල්ලි ගත්තා පාරුවෙන් එක්කන් යන්න. අච්ච්රයි කියලා ගානක්  තිබුනේ නෑ මිනිස්සු කැමති ගානක් පාරුවට  ඇතුලටම දාල ගියා.

උන බට පහුරෙන් එගොඩ වෙන එකත් වෙනම ආතල් එකක් . පීනන්න පුළුවන් කෙනෙක් ඇරෙන්න පහුරේ ගියේ නෑ, මොකද තෙමෙන්න වීමේ සම්බාවිතාව සියට හැත්තෑපහක් විතර උනා එකෙන් .  ගඟ හරහා කේබල් එකක් ඇදල එක අල්ල අල්ල තමයි පහුර එහා මෙහා ගෙනිච්චේ. පහුර අරගන යනකොට යන්තම් හරි ඉස්සරහ කෙලවර පහත් වුනොත් කෙලින්ම යන්නේ වතුර ඇතුලට , මොන සක්කරයටවත් බෑ ආයෙත් පහුර මතුපිටට ගන්න ඉතින් පහුරේ ඉන්න උන් ටිකට වෙන්නේ අතේ පයේ විරිය දාල ගඟට පැනල පීනන්න තමයි. ඔය වෙලාවට  පහුරෙ ආපු උන්ට  හු කියන්න වෙනම සෙට් එකක් හිටියා එගොඩ මෙගොඩ.



අඟහරුවාදාට ඉස්කෝලේ ඇරිලා  අපි ගඟ ගාව සැහෙන්න වෙලාවක් ඉඳල තමයි ගෙදර යන්නේ , එදාට තවලම සති පොළ තිබුන නිසා ගමේම මිනිස්සු එනවා ගඟෙන් එගොඩ වෙන්න. අපරාදේ කියන්න බෑ එදාට පාරුව දෙතුන් සැරයක් කණපිට ගහනවා. අපේ ගෙවල් කිට්ටුව තිබුන තේ වත්තේ දෙමල ආච්චිලාට පාරුවේ  යන්න තේරෙන්නෙම නෑ , එක්කෙනෙක්  පොඩ්ඩක් එහා මෙහා වැනුන නම් ඇති පාරුව  පෙල්ලෙන්න. කොයි වෙලෙත් ගඟේ දෙපැත්තේ හිටියා පීනන්න පුළුවන් අය,ආච්චිලා ගඟට වැටිලා අයියෝ  ෂාමී අයියෝ ෂාමී කියලා මරහඬ දෙනවා. අපරාදේ කියන්න කාටවත් එලොව යන්න නම් දුන්නේ නෑ කවදාවත්. දැන් කාලේ වගේ ලයිෆ් ජැකට් තිබුනේ නැති උනාට

පාරුවක්  පෙල්ලුන  හැටිය ඇඳන් ඉන්න ඇදුම් පිටින්ම ගඟට පනින්න ඒ කාලේ  මිනිස්සු දෙපාරක් හිතුවේ නෑ, දැන් උනා නම් කට්ටියක් සෙල්ෆි ගහවි , කට්ටියක් ෆෝන් පර්ස් අදීවි පනින්න කලින් , එතකොටනම් දෙතුන් දෙනෙක් යන්න ඕන තැනට ගිහින් තියේවි.



    ගඟේ වතුර වැඩි  දවසට නම් පාරුවට  නග්ග ගන්නේ සීමිත ගානක් විතරයි පාරුව  පැද්දෙත් හොඳට පුරුදු කෙනෙක් විතරයි. අපේ පොඩි බාප්පා හුඟක් දවසට පාරුව  පැද්දා වතුර වැඩි නම් ගඟේ.

 1992 හරි 1993 දී තමයි මුලින්ම අපේ ගමට එන්න ගඟ හරහා කොන්ක්‍රීට් පාලමක් හදන්න පටන් ගත්තේ බටහේන හරියෙන්  ඒ දවස් වල දකුණු පළාත් ආණ්ඩුකාරය වුනු බාකිර් මාකිර්  මහත්තය මුල්ගල තිව්ව කියල මට මතකයි.



2003 මහා ගං වතුරෙන් පස්සේ ගිං ගගේ තිබුන ඔක්කොම වැල් පාලම අයින් කරලා යකඩ පාලම දැම්මා ඒවායිනුත් ත්‍රිවිල් එකක් ඇරෙන වෙන වාහනයක් යන්න බෑ ,


අපි ඉස්කෝලේ ගිහිපු ගඟසිරියේ වැල් පාලම නම් දැන් සම්පුර්ණයෙන් අයින් කරලා යකඩ පාලමක් දාලා තියෙන්නේ බටහේනේ පාරේ තිබුන පාලමේ කම්බි නැතත් දෙපැත්තේ යකඩ කුළුණු දෙක   තාමත් එතන තියනවා. අලුත් පාලම දැම්මට පස්සේ අවුරුදු පනහක් විතර ගමේ මිනිස්සුන්ට එගොඩ මෙගොඩ යන්න උදව් කරපු පාලම දෙක දැන් මතකවත් නෑ හුඟක් අයට.
(චයාරුප අන්තර් ජාලයෙනි )

බාලේ කාලේ තේ වත්තේ කතාව

  අපේ ගෙවල් ගාව තියෙන තේ වත්ත 1960 ගනන් වල අක්කර දාහක් වෙන් කරලා පටන් ගත්තාට  අපිට මතක  කාලේ තිබුණේ අක්කර තුන් සීයක් වගේ ඉතුරු වෙලා . අනිත් හරිය මිනිස්සු බලෙන් අල්ල ගෙන  තිබුනේ

වත්ත පටන් ගත්තේ රාජ්‍ය වැවිලි සංස්ථාව මගින්  ඒ  කාලේ බොහෝම ලස්සනයි  පිළිවෙලයි  පාරවල් , තේ පාත්ති හොඳට නඩත්තු කරල මල් ඉන්ඳලා එහෙම තිබුනා. වත්තට අයිති  ඉස්කෝලයක්   සමුපකාරයක් ඩිස්පෙන්සරියකුත් වෙනමම තිබුනා  .වත්තට තිබුනා ඩිවිසන් 4ක්  කොහිල දෙනියා , මිදිමින්න ,හල්ලකන්ද , බටුවන්කැට කියලා.













වත්තෙ වැඩට සිංහල දෙමළ මුස්ලිම් සියලු ජාතිකයෝ ද හිටියා. ඒක නිසා වත්තෙම පන්සලක් මුස්ලිම් පල්ලියක් කෝවිලකුත්  තිබුනා මිනිසුන්ට තමන්ගේ ආගම අදහන්න පුළුවන් වෙන්න,හැමෝම බොහොම සමගියෙන් ජිවත් වුණා අනූවේ මුල හරිය වෙනකම් වගේ.

  ජාතිවාදය කියන  වචනේ  වත් අපි  දැනගන හිටියේ නෑ.. කොහේ මොන ආගමේ උත්සවේ තිබුනත් හැමෝම ආවා .







කියන්න දුකයි මුලින්ම නැතිවෙලා ගියේ පංසල. හිටපු උන්නාන්සේගෙ දුස්සීල කමට මිනිස්සු පංසලෙන් එලවලා දැම්මා. වෙන කෙනෙක් ආවෙත් නැහැ ආයෙත් ඉතින්  පංසලත්  එහෙමම ගරා වැටිලා ගියා.

  අපි ජිවත් වුනේ වත්තෙන් පිට වුනාට අපේ තාත්තත් වතු වලට සම්බන්ද නිසා වත්තේ ෆීල්ඩ් ඔෆිසර්වල තාත්තගේ යාලුවෝ . ඒක  නිසා අපිටත් ලොකු  පිළිගැනීමක් තිබුනා වත්තේ අයගේ.



















      එක්දාස් නමසිය අනු ගණන් වල මුලදී  මුස්ලිම් පවුල් කීපයක් ඉතිරි  වෙද්දී අනිත් මුස්ලිම් පවුල් ඔක්කොම  වෙන වෙන වතු වලට මාරු වෙලා ගියා. ඒ එක්කෙම තිබුන මුස්ලිම් පල්ලියත් වැහිලා ගියා. එකෙන් වුනේ අපිට රාමසාන් කාලෙට සරුවත් බොන්නත් නැති වෙච්ච එක.

පොඩි කාලේ රාමසාන් කාලෙට   අපි ඉතින් පල්ලියේ පැත්තේ රවුමක් දානවා හවසට සරුවත් බොන්න  අපිව ඉතින් විශේෂ අමුත්තෝ විදියට සංග්‍රහ කරා.











         කෝවිල තමයි කාගේත් ජනප්‍රියම ස්ථානේ වුනේ . සිංහල දෙමල මුස්ලිම් හැමෝම තමන්ගේ දුකක්  කරදරෙකදී කෝවිලේ පුජාවක් තියන්න  එක කරේ ලොකු භක්තියකින් . තයිපොංගල් එකට ලොකු උත්සවයක් කරනවා කෝවිලේ දෙමල වේදිකා නාට්‍ය එහෙමත් පෙන්නනවා . එකේදී තමයි මං දැක්කේ මිනිස්සු නළුවොන්ට එවලේම තමන්ගේ ප්‍රතිචාරය දක්වනවා සල්ලි වලින් .අල්පෙනේතකින් සල්ලි කොළ ස්ටේජ්  එකට ගිහින් නළුවොන්ගේ ඇදුමේ එල්ලනවා. දෙමල ගැහැණු අය  ගොඩක් කෝවිලේ පුජාව වෙලාවට  ආරුඩ  වෙනවා. අපි පොඩි නිසා ටිකක් බයයි ඒවාට. පුජාවට හක්ගෙඩිය පිඹින කොට පුළු පුළුවන් අය කෝවිලට එකතුවෙනවා කවුරු පුජාව කරත්.







තයිපොන්ගල් , ශිවරාත්‍රී , දීපවාලි මොන උත්සවෙටත්   කෝවිලේ  පුජාව  තියනවා. සමහර ඒවාට සතියක්ම පුජාව තියනවා  කාවඩි නැටුම් එක්ක වත්ත පුරා පෙරහැරකුත්  යනවා  . ඔය පෙරහැරේ නටන වයසක මනුස්සයෙක් හිටියා මුත්තු කියලා. හරි අහිංසක මනුස්සයා . මුත්තු එක සැරයක් යකෙකුට ඇඳලා නැටුවා ඔය පෙරහරේ , . ඕක දැක්කම මට කියවුනේ  හදිස්සියට "යකෙක්  මුත්තු වගේ නටනවා කියලා. "  ඕකට අපේ ගෙදර කට්ටිය මාව  සැහෙන්න කල් නෝන්ඩි   මතක් කර කර .

කෝවිලේ පොංගල් බත් කන්නත් අපි ඉතින් නොගිහින් හිටියේ නෑ කවදාවත් . අපි ගියේ නැත්තම් ගෙදරට හරි එවනවා පුසාරි . දැන් අපි දකින  කොටි ගණන් වියදම් කරන සංදර්ශන වලට වඩා අර දුප්පත් මිනිස්සුන්ගේ අහිංසක  උත්සාහය කොච්චර වටිනවද කියලා මට දැන් හිතෙන්නේ.









වත්තේ වැඩ කරන අයට තිබුණේ  ලැයිම් කාමර එක ලැයිම දෙකට බෙදල පවුල් දෙකක් ජිවත් වුණා

 අපේ ගෙවල් ඉස්සරහ තිබුන ලයිමේ හිටපු  දේවරාජ් අහිංසක මෝඩ කොල්ලා දේවරාජ්ගේ තාත්තා කෝවිලේ පුසාරි කමත් කරා ටික කාලයක් . කට්ටිය මිනිහට කොයිවෙලෙත් විහිලුකරා මොකක් හරි හේතුවක් අල්ලගන. මල පැන්නම බැන බැන යනවා සින්හලනුයි දෙමලනුයි දෙකෙන්ම. . කිට්ටුව හිටිය සිංහල දෙමල ඔක්කොම නෑවේ වතුර බිව්වේ අපේ ගෙදර තිබුන වතුර  පීල්ලෙන් , කොයි  කාලෙත්  හොඳට වතුර තිබුණ නිසා පීල්ලේ හැමෝම පුරුදු වෙලා හිටියා පීල්ලට එන්න.





වත්තේ ෆීල්ඩ් ඔපිසර් කෙනෙක් වුනු  මුරුගයියා අන්කල් තාත්තගේ හොදම ගජයා .තාත්ත  එක්ක හරි හරියට ඉංග්‍රීසි කතා කරන්න කෙනෙක් හිටියේ මුරුගයිය අන්කල් විතරයි කිට්ටුව පහත .අපේ තාත්තත්  ඒ කාලේ හොදට කැවා බිව්වා නිසා එයත් ඒවාට එකෙන්ම හිටියා. මුරුගයියා අන්කල්ගේ ළමයිත් අපට වඩා ගොඩක් වැඩිමල් උනාට අපේ යාලුවෝ වුනේ  එයාල තමයි ඒකාලේ. මුරුගයිය අන්කල් අපේ ගෙදරට එන එන අඩු කරන්න උනේ දවසක් බිබී හිටපු බීඩියක් අපේ නංගිගේ කටේ ගහලා අක්කාගෙන් හොදවයින් දෙකක් අහගත්තට පස්සේ.







සින්නපයාත් හිටියේ අපේ ගෙවල් වලට ටිකක් ඇතින්  එත් නිතර අපේ හරියේ ගැවසුනා . මිනිහගේ පවුලේ ඔක්කොටොම කකුල්වල පොඩි  අප්සෙට් එකක් තිබුනා එක නිසා හැමෝටම පොඩි විශේෂණ පදයකින් තමයි හැදින්වුණේ හරිම අහිංසක කොල්ලෝ ටිකක් . සින්නපයා ස්කොලේ ගිහිල්ලම නැහැ ඒ වුනාට ටිකක් විතර මොලේ තියනවා. මම මිනිහව කතාවට අල්ල ගන්නවා අපේ පීල්ලට ආවහම.






 වත්තේ දළු ගෙනියන්න ට්‍රැක්ටර් දෙකකුත් ලොරි දෙකකුත් තිබුණා. අයිතිය වත්තේ උනාට ඒවා අපේ ගෙදරත් හිටියා අයිතිකාරයෝ  ඒ අයියයි මමයි. අපි ඒවා බෙදාගෙන හිටියේ..  අපේ පාරේ වාහන මහ ගොඩක් ගියේ නැහැනේ  ඉතින් වත්තේ වාහනයක් එනකොට  අපි බලන් ඉන්නේ කාගෙ එකද එන්නේ කියලා. කෑගහල කියනවා එන්නේ මගේ වාහනේ කියලා. මිදිමින්න ඩිවිෂන් එකේ දළු මඩුව තිබුනේ අපේ ගෙවල් ගාව , ඉතින් උදේටයි හවසටයි ගෝසාව නම් ඉවරයක් නෑ . දළු කිරන මිනිස්සු අඩුවෙන් කිරල කියලා අනිවාර්යෙන් ගෑණු දෙතුන් දෙනෙක් බැන බැන යනවාම තමයි හැමදාම.
වත්තේ පඩි දවසට දළු මඩුව මාකට් එක වගේ . වෙළෙන්දෝ එක එක බඩු අරගන ඇවිත් පාරේ තියාගන ඉන්නවා , අයිස් ක්‍රීම් කාරයෝ , ණය පොලි කාරයෝ, සීට්ටු කාරයෝ ඔක්කොම මග බලාගන ඉන්නේ අර මිනිස්සුන්ගේ තුට්ටු දෙකට විදින්න.







 වත්තේ පුල්ලේ මඩුව නැත්තම් ක්‍රෙච් එක ඒත් නැත්තම් day care එක තිබුනෙත් අපේ ගෙවල් ගාව . ඒක බලාගන්න හිටපු නන්දා අක්කා අපේ අම්මා ගේ යාලුවෙක්.. වයසත් අපේ අම්මා ගානම උනාට ඇන්ටි කියනවට කැමති වුණේ නෑ. එයා අපේ අම්මටත්  කිව්වේ ඇන්ටි කියලා. පුල්ලේ මඩුවේ ත්‍රී පෝෂ  ගුලි දෙන වෙලාවට අපිත් ඒකේ තමයි හිටියේ. නන්දා අක්කා හිටපු ලමයින්ට  සැළකුවේ එච්චර හොඳ විදියට නම් නෙවෙයි වැඩ කරන උන්ගේ ලමයින්  කියලා එයාලා ගේ කැත කුණු අත ගාන්න එයා ලෑස්ති වෙලා හිටියේ නෑ. ඒකට එයාට ආනිසංස හම්බු වෙලා තියෙන්නේ . පෙන්ෂනුත් ගිහින් කසාද බැන්දාට ලමයි හිටියේ නෑ එයාට  පස්සෙ වත්තෙන්ම ලමයෙක් තමයි අරන් හදා ගත්තේ  ඒ යකාත් මහා පෝරිසාදයෙක් වෙලා ඉන්නවා දැන් .







බොහොම සංවිදානාත්මක විදියට වැඩ කෙරීගන  ගිය වත්තට කණකොකා ඇඬුවේ ඒ කාලේ  තිබිච්ච ආණ්ඩුවෙන් වතු පුද්ගලීකරණය යටතේ පිටරට කොම්පැනියකට අවුරුදු 5කට දුන්නට පස්සේ. එයාලට මේක දියුණු කරන්නවත් තිබුන තත්වෙන් පවත්වන්යන්නවත් උවමනාවක් තිබුනේ නෑ . කොහොම හරි උපරිම ආදායමක් ගන්න තමයි බැලුවේ . වත්තේ තිබුන වටිනා ගස් ටික කපා  ගත්තා . නැවත වගා කරන්න ලෑස්ති කරලා තිබුන ඒවා කැලේට ඇරියා , අදායම අඩු තේ කඳුත් නඩත්තු කරේ නෑ , අන්තිමට ඉතුරු වුනේ ප්‍රධාන  පාර දෙපැත්තේ සුපිරින්ටෙන්ඩන්ට්ට බයිසිකලෙන් යනකොට පේන හරිය විතරයි. එතකොට වත්තේ  අක්කර 25කට  වඩා ඉතුරු වෙලා තිබුනේ නැහැ අවරුදු පහ ඉවර වෙනකොට තිබුන වාහනත් කැඩුනට පස්සේ අලුත් වැඩියාවක් කරේ නෑ , යකඩ  වලට විකුනගත්තා .දළු ටික ගෙනිච්චේත් කලින් හිටපු ඩ්‍රයිවර්ගේ වාහනේ හයර් එකට අරන් . වත්ත පාඩු වෙනකොට හිටපු දෙමල අයත් යන්න ගියා , එත් එක්ක වැඩට මිනිසුත් හොයා ගන්න බැරි තත්වෙකට වැටුනා.



ආණ්ඩුවේ ප්ලෑන් එක හරියටම වැඩකරා . කලින් තිබුන තත්වෙන් අවරුදු 99කට බදු දුන්න නම් ගන්න එකාට සෑහෙන්න ගානක් ගෙවන්න වෙනවා ආණ්ඩුවට   එතකොට සාක්කුවට වැටෙන ගාන අඩු වෙනවනේ. ඒකනිසා කෙටි කාලෙකට දීල උගෙනුත් ගානක් ගත්තා . දැන් ඉතින් මේ පාඩුවට දුවන වත්ත ගන්න මොකාද එන්නේ . එපාර දුන්නා 99 බද්දට තව කොම්පැනියකට කුණු කොල්ලෙට , දැන් එතනිනුත් ගානක් සාක්කුවේ.



වත්තේ පරිපාලනෙත් දුර්වල වේගන එනකොට ගමේ මිනිස්සු ටික ටික වත්තේ ඉඩම් අල්ලගන්න පටන් ගත්තා . දළු කඩන මිනිස්සුත් කඩන දළු වලින් ටිකක් වත්තට දීලා අනිත් ටික හොරෙන් විකුණා ගත්තා. පෝර , වල්නාශක හැමදේටම වුනේ  ඒකම තමයි  . ගමේ කුඩා තේවතු වැඩිවෙනකොට වත්තේ මිනිස්සුත් ඒවායේ වැඩට ගියා වැඩි පඩියට.



තිබුන ගෙවල් බංගලා ගරා වැටිලා  ගියා නඩත්තු කරෙත් නෑ මිනිස්සු ඒවායේ ගලවගන්න පුළුවන් ඔක්කොම ගලෝගන අරන්ගියා. ලගක් වෙනකොට යන්තම් ටාටා කැබ් එකක් පිරෙන්න තේ දළු ටිකක් තිබුනා . දැන් ඇත්තටම වත්තක් නෑ කිව්වොත් තමයි හරි. වත්ත ගමේම කොටසක් වෙලා.















පහුගිය කාලේ ඉඩම්  කැලේට තියනවට ආණ්ඩුවෙන් අයිති සමාගම් වලට සද්දයක් දැම්මාම කැලේ සුද්ද කරකර කටුපොල් හිටවන්න ගත්තා. එකකට වැඩි සේවක පිරිසක් ඕනත් නෑ නඩත්තුව ත් අවශ්‍ය නැතිනිසා මිනිස්සුන්ට හොරකම් කරලා වැඩකුත් නැති නිසා කොම්පැනිය දිගට හරහට කටුපොල් ඉන්දුවා . කටුපොල් වලින් ලොකු පරිසර හානියක් වෙනවා කියලා පරිසර සංවිදාන කෑගහන්න පටන්ගත්තාම එකත් නවත්තලා තියෙන්නේ දැන්නම් .

දැන් ඉතින් මිනිස්සු වත්තෙන් හැදෙන කටුපොල් නවසිලන්තේට යවලා එක කිරිපිටි වලට කවලම් කරගන ආපහු ගෙනල්ල ගමේ ෆැක්ටරි තේ කොළ වලට කවලම් කරගන ටී විදියට බොනවා

ත්‍රිවිල් සර්විස්



මේක අපේ ගමේ මෑතක සිද්ධ වුණ සිද්ධියක්,



අපේ කතා නායකයා අපි සමන් අයියා කියමු. සමන් අයියා ඉස්කෝලෙන් අයින් වුන ගමන් ආමි එකට බැඳුනා. ඉස්කෝලෙත් වැඩිය ගිහින් නෑ මං හිතන්නෙ.

පවුලෙ වැඩිමලා වුන මෙයාට තව මල්ලිලා දෙන්නෙකුයි නංගිලා දෙන්නෙකුත් හිටියා. එක්කෙනෙක් වත් හරි අධ්‍යාපනයක් ගත්තෙ නෑ.

කොහොම හරි මෙයා විවාහයක් කරගත්තෙත් ආමි එකේ  අවුරුදු 20ක සර්විස් එක අවසන් කරල පෙන්ෂන් අරගනම තමයි. ඒ ඔය 2005 මානුෂීය මෙහෙයුමට කලින්.

මහ ගෙදර ගාවින්ම අළුත් ගෙයක් හදාගෙන සමන් අයියා පදිංචිව වෙලා හිටියෙ. මෙයා අපේ හරියෙ හැමෝම වගේ ගමන් බිමන් පහසුවට ත්‍රී වීල් එකකුත් ගත්තා.

හැමෝම දන්නවනේ අලුත් වාහනයක්  ඉස් ඉස්සෙල්ලාම සර්විස් කරන්න දුවන්න ඕන කිලෝමීටර් ගානක් තියනවා කියලා. අපේ මේ සමන් අයියත් ගියා තමන්ගේ ත්‍රීවිල් එක සර්විස් කරන්න සර්විස් සෙන්ටර් එකට හැබැයි අදාළ කිලෝමීටර් ගානට ටිකක් අඩුවෙන් 300km විතර, ඉතින් සර්විස් එකේ මල්ලිලා මේක බලලා කිව්වා " අයියේ මේක තව ටිකක් දුවන්න පුළුවන් ඔයා  ඒ ටිකත් දුවලම අරන් එන්න " කියල. අපේ අයියත් හා කියලා ගියා යන්න කලින් අයෙත් අයියා ඇහුවා "මල්ලි මන් හෙට ආවට කමක් නැද්ද" කියල. "ඔයා කැමති දවසක කිලෝමීටර් ගාන හරි නම් එන්න" කියල කට්ටිය කිව්වා.



කිව්වා වගේම පස්සෙන්දා උදේ පාන්දරම සමන් අයියා ඉන්නවා සර්විස් එක ගාව. සර්විස් එකේ මල්ලි බැලුවා කිලෝමීටර් ගාණත් හරියට හරි .

"කොහේද අයියේ ගියේ ඊයේ කතරගමවත් ගියාද ?" කියලා සර්විස් එකේ මල්ලිට හෙන ප්‍රශ්නේ.



නෑ  මල්ලි මං ටැංකියට තෙල් ෆුල් ගහගන පිට්ටනියට ගිහින් කිලෝමීටර් ගාන හරියනකම් රවුම් ගැහුවා කියල අයියා කියපි.





(චායා රූප  අන්තර්ජාලයෙනි )

බාල්දු කථා

ලව් ලොක්

  මේ  තියෙන්නේ  මං දවස ගානෙ  උදේ හවස වැඩට  යන එන පාරේ තියන පාලමක ඇන්ද. මේක පයින් යන මිනිසුන්ටයි පුට්බයිසිකල් වලටයි විතරක් තියෙන පාලමක්. පාලම...