බාලේ කාලේ තේ වත්තේ කතාව

  අපේ ගෙවල් ගාව තියෙන තේ වත්ත 1960 ගනන් වල අක්කර දාහක් වෙන් කරලා පටන් ගත්තාට  අපිට මතක  කාලේ තිබුණේ අක්කර තුන් සීයක් වගේ ඉතුරු වෙලා . අනිත් හරිය මිනිස්සු බලෙන් අල්ල ගෙන  තිබුනේ

වත්ත පටන් ගත්තේ රාජ්‍ය වැවිලි සංස්ථාව මගින්  ඒ  කාලේ බොහෝම ලස්සනයි  පිළිවෙලයි  පාරවල් , තේ පාත්ති හොඳට නඩත්තු කරල මල් ඉන්ඳලා එහෙම තිබුනා. වත්තට අයිති  ඉස්කෝලයක්   සමුපකාරයක් ඩිස්පෙන්සරියකුත් වෙනමම තිබුනා  .වත්තට තිබුනා ඩිවිසන් 4ක්  කොහිල දෙනියා , මිදිමින්න ,හල්ලකන්ද , බටුවන්කැට කියලා.













වත්තෙ වැඩට සිංහල දෙමළ මුස්ලිම් සියලු ජාතිකයෝ ද හිටියා. ඒක නිසා වත්තෙම පන්සලක් මුස්ලිම් පල්ලියක් කෝවිලකුත්  තිබුනා මිනිසුන්ට තමන්ගේ ආගම අදහන්න පුළුවන් වෙන්න,හැමෝම බොහොම සමගියෙන් ජිවත් වුණා අනූවේ මුල හරිය වෙනකම් වගේ.

  ජාතිවාදය කියන  වචනේ  වත් අපි  දැනගන හිටියේ නෑ.. කොහේ මොන ආගමේ උත්සවේ තිබුනත් හැමෝම ආවා .







කියන්න දුකයි මුලින්ම නැතිවෙලා ගියේ පංසල. හිටපු උන්නාන්සේගෙ දුස්සීල කමට මිනිස්සු පංසලෙන් එලවලා දැම්මා. වෙන කෙනෙක් ආවෙත් නැහැ ආයෙත් ඉතින්  පංසලත්  එහෙමම ගරා වැටිලා ගියා.

  අපි ජිවත් වුනේ වත්තෙන් පිට වුනාට අපේ තාත්තත් වතු වලට සම්බන්ද නිසා වත්තේ ෆීල්ඩ් ඔෆිසර්වල තාත්තගේ යාලුවෝ . ඒක  නිසා අපිටත් ලොකු  පිළිගැනීමක් තිබුනා වත්තේ අයගේ.



















      එක්දාස් නමසිය අනු ගණන් වල මුලදී  මුස්ලිම් පවුල් කීපයක් ඉතිරි  වෙද්දී අනිත් මුස්ලිම් පවුල් ඔක්කොම  වෙන වෙන වතු වලට මාරු වෙලා ගියා. ඒ එක්කෙම තිබුන මුස්ලිම් පල්ලියත් වැහිලා ගියා. එකෙන් වුනේ අපිට රාමසාන් කාලෙට සරුවත් බොන්නත් නැති වෙච්ච එක.

පොඩි කාලේ රාමසාන් කාලෙට   අපි ඉතින් පල්ලියේ පැත්තේ රවුමක් දානවා හවසට සරුවත් බොන්න  අපිව ඉතින් විශේෂ අමුත්තෝ විදියට සංග්‍රහ කරා.











         කෝවිල තමයි කාගේත් ජනප්‍රියම ස්ථානේ වුනේ . සිංහල දෙමල මුස්ලිම් හැමෝම තමන්ගේ දුකක්  කරදරෙකදී කෝවිලේ පුජාවක් තියන්න  එක කරේ ලොකු භක්තියකින් . තයිපොංගල් එකට ලොකු උත්සවයක් කරනවා කෝවිලේ දෙමල වේදිකා නාට්‍ය එහෙමත් පෙන්නනවා . එකේදී තමයි මං දැක්කේ මිනිස්සු නළුවොන්ට එවලේම තමන්ගේ ප්‍රතිචාරය දක්වනවා සල්ලි වලින් .අල්පෙනේතකින් සල්ලි කොළ ස්ටේජ්  එකට ගිහින් නළුවොන්ගේ ඇදුමේ එල්ලනවා. දෙමල ගැහැණු අය  ගොඩක් කෝවිලේ පුජාව වෙලාවට  ආරුඩ  වෙනවා. අපි පොඩි නිසා ටිකක් බයයි ඒවාට. පුජාවට හක්ගෙඩිය පිඹින කොට පුළු පුළුවන් අය කෝවිලට එකතුවෙනවා කවුරු පුජාව කරත්.







තයිපොන්ගල් , ශිවරාත්‍රී , දීපවාලි මොන උත්සවෙටත්   කෝවිලේ  පුජාව  තියනවා. සමහර ඒවාට සතියක්ම පුජාව තියනවා  කාවඩි නැටුම් එක්ක වත්ත පුරා පෙරහැරකුත්  යනවා  . ඔය පෙරහැරේ නටන වයසක මනුස්සයෙක් හිටියා මුත්තු කියලා. හරි අහිංසක මනුස්සයා . මුත්තු එක සැරයක් යකෙකුට ඇඳලා නැටුවා ඔය පෙරහරේ , . ඕක දැක්කම මට කියවුනේ  හදිස්සියට "යකෙක්  මුත්තු වගේ නටනවා කියලා. "  ඕකට අපේ ගෙදර කට්ටිය මාව  සැහෙන්න කල් නෝන්ඩි   මතක් කර කර .

කෝවිලේ පොංගල් බත් කන්නත් අපි ඉතින් නොගිහින් හිටියේ නෑ කවදාවත් . අපි ගියේ නැත්තම් ගෙදරට හරි එවනවා පුසාරි . දැන් අපි දකින  කොටි ගණන් වියදම් කරන සංදර්ශන වලට වඩා අර දුප්පත් මිනිස්සුන්ගේ අහිංසක  උත්සාහය කොච්චර වටිනවද කියලා මට දැන් හිතෙන්නේ.









වත්තේ වැඩ කරන අයට තිබුණේ  ලැයිම් කාමර එක ලැයිම දෙකට බෙදල පවුල් දෙකක් ජිවත් වුණා

 අපේ ගෙවල් ඉස්සරහ තිබුන ලයිමේ හිටපු  දේවරාජ් අහිංසක මෝඩ කොල්ලා දේවරාජ්ගේ තාත්තා කෝවිලේ පුසාරි කමත් කරා ටික කාලයක් . කට්ටිය මිනිහට කොයිවෙලෙත් විහිලුකරා මොකක් හරි හේතුවක් අල්ලගන. මල පැන්නම බැන බැන යනවා සින්හලනුයි දෙමලනුයි දෙකෙන්ම. . කිට්ටුව හිටිය සිංහල දෙමල ඔක්කොම නෑවේ වතුර බිව්වේ අපේ ගෙදර තිබුන වතුර  පීල්ලෙන් , කොයි  කාලෙත්  හොඳට වතුර තිබුණ නිසා පීල්ලේ හැමෝම පුරුදු වෙලා හිටියා පීල්ලට එන්න.





වත්තේ ෆීල්ඩ් ඔපිසර් කෙනෙක් වුනු  මුරුගයියා අන්කල් තාත්තගේ හොදම ගජයා .තාත්ත  එක්ක හරි හරියට ඉංග්‍රීසි කතා කරන්න කෙනෙක් හිටියේ මුරුගයිය අන්කල් විතරයි කිට්ටුව පහත .අපේ තාත්තත්  ඒ කාලේ හොදට කැවා බිව්වා නිසා එයත් ඒවාට එකෙන්ම හිටියා. මුරුගයියා අන්කල්ගේ ළමයිත් අපට වඩා ගොඩක් වැඩිමල් උනාට අපේ යාලුවෝ වුනේ  එයාල තමයි ඒකාලේ. මුරුගයිය අන්කල් අපේ ගෙදරට එන එන අඩු කරන්න උනේ දවසක් බිබී හිටපු බීඩියක් අපේ නංගිගේ කටේ ගහලා අක්කාගෙන් හොදවයින් දෙකක් අහගත්තට පස්සේ.







සින්නපයාත් හිටියේ අපේ ගෙවල් වලට ටිකක් ඇතින්  එත් නිතර අපේ හරියේ ගැවසුනා . මිනිහගේ පවුලේ ඔක්කොටොම කකුල්වල පොඩි  අප්සෙට් එකක් තිබුනා එක නිසා හැමෝටම පොඩි විශේෂණ පදයකින් තමයි හැදින්වුණේ හරිම අහිංසක කොල්ලෝ ටිකක් . සින්නපයා ස්කොලේ ගිහිල්ලම නැහැ ඒ වුනාට ටිකක් විතර මොලේ තියනවා. මම මිනිහව කතාවට අල්ල ගන්නවා අපේ පීල්ලට ආවහම.






 වත්තේ දළු ගෙනියන්න ට්‍රැක්ටර් දෙකකුත් ලොරි දෙකකුත් තිබුණා. අයිතිය වත්තේ උනාට ඒවා අපේ ගෙදරත් හිටියා අයිතිකාරයෝ  ඒ අයියයි මමයි. අපි ඒවා බෙදාගෙන හිටියේ..  අපේ පාරේ වාහන මහ ගොඩක් ගියේ නැහැනේ  ඉතින් වත්තේ වාහනයක් එනකොට  අපි බලන් ඉන්නේ කාගෙ එකද එන්නේ කියලා. කෑගහල කියනවා එන්නේ මගේ වාහනේ කියලා. මිදිමින්න ඩිවිෂන් එකේ දළු මඩුව තිබුනේ අපේ ගෙවල් ගාව , ඉතින් උදේටයි හවසටයි ගෝසාව නම් ඉවරයක් නෑ . දළු කිරන මිනිස්සු අඩුවෙන් කිරල කියලා අනිවාර්යෙන් ගෑණු දෙතුන් දෙනෙක් බැන බැන යනවාම තමයි හැමදාම.
වත්තේ පඩි දවසට දළු මඩුව මාකට් එක වගේ . වෙළෙන්දෝ එක එක බඩු අරගන ඇවිත් පාරේ තියාගන ඉන්නවා , අයිස් ක්‍රීම් කාරයෝ , ණය පොලි කාරයෝ, සීට්ටු කාරයෝ ඔක්කොම මග බලාගන ඉන්නේ අර මිනිස්සුන්ගේ තුට්ටු දෙකට විදින්න.







 වත්තේ පුල්ලේ මඩුව නැත්තම් ක්‍රෙච් එක ඒත් නැත්තම් day care එක තිබුනෙත් අපේ ගෙවල් ගාව . ඒක බලාගන්න හිටපු නන්දා අක්කා අපේ අම්මා ගේ යාලුවෙක්.. වයසත් අපේ අම්මා ගානම උනාට ඇන්ටි කියනවට කැමති වුණේ නෑ. එයා අපේ අම්මටත්  කිව්වේ ඇන්ටි කියලා. පුල්ලේ මඩුවේ ත්‍රී පෝෂ  ගුලි දෙන වෙලාවට අපිත් ඒකේ තමයි හිටියේ. නන්දා අක්කා හිටපු ලමයින්ට  සැළකුවේ එච්චර හොඳ විදියට නම් නෙවෙයි වැඩ කරන උන්ගේ ලමයින්  කියලා එයාලා ගේ කැත කුණු අත ගාන්න එයා ලෑස්ති වෙලා හිටියේ නෑ. ඒකට එයාට ආනිසංස හම්බු වෙලා තියෙන්නේ . පෙන්ෂනුත් ගිහින් කසාද බැන්දාට ලමයි හිටියේ නෑ එයාට  පස්සෙ වත්තෙන්ම ලමයෙක් තමයි අරන් හදා ගත්තේ  ඒ යකාත් මහා පෝරිසාදයෙක් වෙලා ඉන්නවා දැන් .







බොහොම සංවිදානාත්මක විදියට වැඩ කෙරීගන  ගිය වත්තට කණකොකා ඇඬුවේ ඒ කාලේ  තිබිච්ච ආණ්ඩුවෙන් වතු පුද්ගලීකරණය යටතේ පිටරට කොම්පැනියකට අවුරුදු 5කට දුන්නට පස්සේ. එයාලට මේක දියුණු කරන්නවත් තිබුන තත්වෙන් පවත්වන්යන්නවත් උවමනාවක් තිබුනේ නෑ . කොහොම හරි උපරිම ආදායමක් ගන්න තමයි බැලුවේ . වත්තේ තිබුන වටිනා ගස් ටික කපා  ගත්තා . නැවත වගා කරන්න ලෑස්ති කරලා තිබුන ඒවා කැලේට ඇරියා , අදායම අඩු තේ කඳුත් නඩත්තු කරේ නෑ , අන්තිමට ඉතුරු වුනේ ප්‍රධාන  පාර දෙපැත්තේ සුපිරින්ටෙන්ඩන්ට්ට බයිසිකලෙන් යනකොට පේන හරිය විතරයි. එතකොට වත්තේ  අක්කර 25කට  වඩා ඉතුරු වෙලා තිබුනේ නැහැ අවරුදු පහ ඉවර වෙනකොට තිබුන වාහනත් කැඩුනට පස්සේ අලුත් වැඩියාවක් කරේ නෑ , යකඩ  වලට විකුනගත්තා .දළු ටික ගෙනිච්චේත් කලින් හිටපු ඩ්‍රයිවර්ගේ වාහනේ හයර් එකට අරන් . වත්ත පාඩු වෙනකොට හිටපු දෙමල අයත් යන්න ගියා , එත් එක්ක වැඩට මිනිසුත් හොයා ගන්න බැරි තත්වෙකට වැටුනා.



ආණ්ඩුවේ ප්ලෑන් එක හරියටම වැඩකරා . කලින් තිබුන තත්වෙන් අවරුදු 99කට බදු දුන්න නම් ගන්න එකාට සෑහෙන්න ගානක් ගෙවන්න වෙනවා ආණ්ඩුවට   එතකොට සාක්කුවට වැටෙන ගාන අඩු වෙනවනේ. ඒකනිසා කෙටි කාලෙකට දීල උගෙනුත් ගානක් ගත්තා . දැන් ඉතින් මේ පාඩුවට දුවන වත්ත ගන්න මොකාද එන්නේ . එපාර දුන්නා 99 බද්දට තව කොම්පැනියකට කුණු කොල්ලෙට , දැන් එතනිනුත් ගානක් සාක්කුවේ.



වත්තේ පරිපාලනෙත් දුර්වල වේගන එනකොට ගමේ මිනිස්සු ටික ටික වත්තේ ඉඩම් අල්ලගන්න පටන් ගත්තා . දළු කඩන මිනිස්සුත් කඩන දළු වලින් ටිකක් වත්තට දීලා අනිත් ටික හොරෙන් විකුණා ගත්තා. පෝර , වල්නාශක හැමදේටම වුනේ  ඒකම තමයි  . ගමේ කුඩා තේවතු වැඩිවෙනකොට වත්තේ මිනිස්සුත් ඒවායේ වැඩට ගියා වැඩි පඩියට.



තිබුන ගෙවල් බංගලා ගරා වැටිලා  ගියා නඩත්තු කරෙත් නෑ මිනිස්සු ඒවායේ ගලවගන්න පුළුවන් ඔක්කොම ගලෝගන අරන්ගියා. ලගක් වෙනකොට යන්තම් ටාටා කැබ් එකක් පිරෙන්න තේ දළු ටිකක් තිබුනා . දැන් ඇත්තටම වත්තක් නෑ කිව්වොත් තමයි හරි. වත්ත ගමේම කොටසක් වෙලා.















පහුගිය කාලේ ඉඩම්  කැලේට තියනවට ආණ්ඩුවෙන් අයිති සමාගම් වලට සද්දයක් දැම්මාම කැලේ සුද්ද කරකර කටුපොල් හිටවන්න ගත්තා. එකකට වැඩි සේවක පිරිසක් ඕනත් නෑ නඩත්තුව ත් අවශ්‍ය නැතිනිසා මිනිස්සුන්ට හොරකම් කරලා වැඩකුත් නැති නිසා කොම්පැනිය දිගට හරහට කටුපොල් ඉන්දුවා . කටුපොල් වලින් ලොකු පරිසර හානියක් වෙනවා කියලා පරිසර සංවිදාන කෑගහන්න පටන්ගත්තාම එකත් නවත්තලා තියෙන්නේ දැන්නම් .

දැන් ඉතින් මිනිස්සු වත්තෙන් හැදෙන කටුපොල් නවසිලන්තේට යවලා එක කිරිපිටි වලට කවලම් කරගන ආපහු ගෙනල්ල ගමේ ෆැක්ටරි තේ කොළ වලට කවලම් කරගන ටී විදියට බොනවා

No comments:

Post a Comment

බාල්දු කථා

ලව් ලොක්

  මේ  තියෙන්නේ  මං දවස ගානෙ  උදේ හවස වැඩට  යන එන පාරේ තියන පාලමක ඇන්ද. මේක පයින් යන මිනිසුන්ටයි පුට්බයිසිකල් වලටයි විතරක් තියෙන පාලමක්. පාලම...