අපේ තාත්තා ඉස්සර ඉඳලම මොටර් බයිසිකලයක් පාවිච්චි කරලා තියනවා . එක එක බයික් පාවිච්චි කරලා තියනවා තාත්තා කාලෙන් කාලෙට , මට මතක මුල්ම කාලෙ ගෙදර ගොඩ ඇදපු ජාවා වර්ගයේ බයිසිකලයක් තිබුනා . ඒක තාත්තා අපි දැන් ඉන්න තැන පදිංචි වෙන්න කලින් පාවිච්චි කරපු එක. පාරත් අපේ ඉඩමත් අතරේ තිබුන දොලෙන් ගෙදරට ගෙන්න විදියක් නැති නිසා ඒක කැලි ගලවල ගෙදරට ගෙනත් දාල තිබුනේ . අයියයි මමයි වෙලාවක් තිබුන ගමන් කරන්නේ තාත්තාගෙ යතුරු සෙට් එක අරගෙන එකේ ඉතුරු කෑලි ටිකත් ගලවන එක . ලොකු නට් එකක් ගලවන්න තරම් හයියක් අපිට තිබුනෙ නෑ. කොහොම හරි චැසිය ඉතිරි වෙනකම් කැලි ටිකට අපි වග කිව්වා.
චැසියේ මේන් ස්ටෑන්ඩ් එක ගහල අයියයි මායි නැගල බයිසිකලෙ පදිනවා වගෙ ඇක්ට් කරකර හිටපු දවසක ස්ටෑන්ඩ් එක පැන්නා අපේ දැඟලිල්ලට. දඩොං, දෙන්නම බිම ක්ලච් හැඬල් එක මගේ උඩි පතුලෙ ඇනිලා නැවතුනේ ඉස්පිරිතාලෙ. බොරු බයිසිකල් පැදිල්ලත් එතනින් ඉවර වුනා .
ඊට පස්සෙ ගෙදර තිබුන තණකොළ බෙහෙත් ගහන මැෂින් එක විකුනලා තාත්තා ගෙනාව යමහා YB 50 බයිසිකලයක්. ඒක විකුනපු එකට වැඩියෙන්ම සතුටු වුනෙ මම. ඒක අර පෙට්‍රල් එන්ජිමක් තියන ජාතියෙ එකක්. පුදුම සද්දයක් තියෙන්නෙ ස්ටාර්ට් කරාම . මං පරාන බයයි එ සද්දෙට. මැෂින් එක එලියට ගන්න කොට මං ඉන්නෙ දොර මුල්ලෙ.
තාත්තා බයිසිකලෙ පැද්දෙ කොන්ද කෙලින් තියාගෙන ඉතින් තාත්තාට නමකුත් දාලා තිබුණා කෙලින් මහත්තයා කියලා. එ දවස් වල පලාතටම බයිසිකලයක් තිබුන, ඉංග්‍රීසි කතා කරන කෙනෙක් හිටියා නම් අපේ තාත්තා විතරයි.
YB 50යේ සයිලන්සරේ කෑල්ලක් හැලිලා තිබුනා කාලෙකදි . ඉතින් තාත්තා ගෙදර එන්න පැය භාගෙකට කලින් උනත් අපි දන්නවා තාත්තා එනවා කියල සද්දෙන්. බයිසිකලේ මගදී කැඩුනොත් ගෙදර කිට්ටුව නම් අනිවාර්යෙන් තාත්තා ඒක එතන දාලා පයින් ගෙදර එනවා. අපි ගිහින් තල්ලු කරන් එන්න වෙනවා ගෙදරට.
ඒ බයිසිකලේ වැඩිපුර තල්ලු ස්ටාර්ට් තමයි. උදේ තාත්ත වැඩට යනවා නම් අපිටත් නැගිටින්න වෙනවා අනිවාර්යෙන් බයිසිකලේ තල්ලු කරන්න.
No comments:
Post a Comment