බෝඩිම් ජීවීත -1


මොකක්දෝ කරුමෙකට මගේ ජිවිතේ වැඩි කාලයක් ගෙවුනේ ගෙදරින් පිට, ඉස්කෝලේ යන්නත් කලින් ඉඳලා , ඉස්කෝලේ යන්න පටන්  ගත්තම ඉඳලා ස්කොලේ ගිහින් ඉවර වෙනකන් නම් ගෙදර ඉන්න වාසනාව තිබුනා. මං   හෝඩියේ ඉඳන් එකම ස්කෝලෙකට ගියපු නිසා.
ස්කොලේ යන්න කලින් අපේ ගෙදර ළමයි වැඩි නිසා මාව එක එක තැන් වල නවත්තලා තිබුනා .හල්විටිගල  අපේ මද්දුම තාත්තලාගේ ගෙදර කාලයක්. බද්දේගම මද්දු අම්මලාගේ ගෙදර කාලයක් , ඔය විදියට ඒ 1988දී
ස්කොලේ ගිහින් ඉවර වෙලා රත්මලානේ ලොකු  අක්කලාගේ ගෙදර ඉඳන් කම්පියුටර්  කෝස් එකක් කරපු නිසා මාස 6ක් එහෙ හිටියා 2003දී . ඒක ඉවර වෙලා අයෙත් කාලයක් ගෙදර හිටියා මගේ උසස් අධ්‍යාපනේට අවස්තාව හම්බු වෙනකම්. ඒ කාලේදී මං වත්තේ පිටියේ වැඩ ටිකකුත් කරා , තේ පැල බාස්කට් දැම්මා. තනියම තේ පාත්තියක් ඉන්දුවා .
2004 දී ආපහු කොළඹ යන්න සිද්ධවුනා මගේ උසස් අධ්‍යාපනේට . මුල් මාස 3 හිටියේ අයියත් එක්ක එයාගේ නුගේගොඩ බෝඩිමේ. එහේ ඉඳන් දවස ගානේ කටුනායක ගියා. මුල දවස් වල නම් නුගේගොඩ බෝ ගහ ගාවට පයින් ගිහන් එතනින් පිටකොටුවට ගිහින් 187 ගියේ.  පාගොඩ පාරේ බස් ඇත්තේ නෑ   එච්චර උදෙන් . පස්සේ  සුපර් මාකට් එක ගාවින්  176 නැගලා ආමර් ස්ට්‍රීට් එකෙන් බහිනවා , එතනින් 240 හරි 92 කුලියාපිටිය එහෙක හරි නැග්ගම කටුනායක යන්න ලේසියි.
අයියා තමයි ඒ දවස් වල මගේ ඔක්කොම වියදම්  බලාගත්තේ , එක දවසක් එයා දුන්න රුපියල් දෙසීයක් , එක දෙසියේ කොලයක් ඒ දවස් වල තිබුන , නිල් පාට ප්ලාස්ටික් වගේ කොලේ . මං  කටුනායක ඉඳන් එන ගමන් ඕක දුන්නා 240 බස් එහෙකට , කොන්දා ඒක ගන්න බෑ කියාපි ඉරිලා කියල චුට්ටක් , මං කිව්වා ඉතින් මං ගාව වෙන සල්ලිත් නෑ කියල. මිනිහ මාව බැස්සුවේ නම් නෑ . අරක ගත්තෙත් නෑ . අයෙත් මං ආමර් ස්ට්‍රීට් එකෙන් බැහැල 176 යන්න තියෙන්නෙත් අර දෙසීයම තමයි , ඒ බස් එකටත් දුන්නට මිනිහා ගත්තෙත් නෑ . වෙන සල්ලි නැති නිසා ඉතින් මට කරන්න දේකුත් නෑ . එකේම ගියා ඉතින් සල්ලි  නොදී .
හවසට 176 එනවා කියන්නේ ඉතින් බුදු ගණන් ලෝඩ් එකයි පාරේ ට්‍රැෆික් එකයි නුගේගොඩ පෙනී පෙනී පැයක් විතර  ඉන්නවා . සමහර දවසට නම් මං  බැහැල පයිනුත් යනවා. යනකොට නම් මහන්සි නිසා බෝඩිමට පයින් යන්න අමාරුයි . 163ක් එනකම් ඉඳලා එල්ලිලා යනවා නාවල  පාරේ මාතර බත් කඩෙන් රෑට අයියටයි මටයි  කෑම එහෙකුත් අරගන.
එක දවසක් ඔහොම 163ක් එනකම් බලන් ඉන්න කොට ආවා හිස් බස් එකක් ජුබිලි කනුව පැත්තෙන් යන , අයියගේ බෝඩිමට ඒ පාරෙනුත් යන්න පුළුවන් . මමත්  නැග්ග ලොක්ක වගේ, කොහොම හරි බහින තැන බලාගන්න බැරි වුනා මට ගිහින් බැස්සේ පිටකෝට්ටේ හංදියේ . එතන ඉඳලත් පයින් එන දුර බෝඩිමට , ඉතින් මං දැන් පයින් එනවා එතකොට ආවා 163 බස් එහෙකුත් මහන්සිත් නිසා මාත් නැග්ගා. ටික දුරක් ගියා  පාර ටිකක් වෙනස් වගේ. බලද්දි මං නැගලා තියෙන්නේ බත්තරමුල්ල පැත්තට යන බස් එකක. මං යන්න ඕන නුගේගොඩ පැත්තට. පිටකෝට්ටේ හංදියේ ඉඳන්ම මං පයින් ගිහින් තියෙන්නේ වැරදි පැත්තට බස් එකෙන්  බහින කොට බෝඩිමට තව දුරයි . දැන් නම් පයින් යා ගන්න පණක් නෑ. තිබ්බ රු50ක් දීල ත්‍රීවීල් එකක් අල්ලගෙන බෝඩිමට ආවේ.
අපේ රැග් සීසන් එකේ අන්තිම කාලේ එක දවසක් අපිට තිබුනා උදේ 4ට කටුනායක ඉන්න ඕන . මන් නුගේගොඩින් පිටත් වුනේ රෑ 2ට . පයින්ම ගියා බෝගහ ගාවට  එතනින් බදුල්ල ඉදන් ආපු AC එහෙක ගියා පිටකොටුවට , එතනිනුත් ළඟ බස් තිබුනේ නෑ අනුරාධපුර එහෙක යන්න්තම් කෙඳිරි ගාල කටුනායකට දම්ම ගත්තේ.
නිවාඩු දවස් බෝඩිමේ ඉන්නවා කියන්නේ විකාරයි. ළඟ පාතක කෑම කඩයක් තිබුනේ නෑ , කෑම එකක් ගන්න නුගේගොඩටම යන්න වෙනවා. උදේට මැගී නුඩ්ල්ස් එකක් කාලා දවල්ට බස් එකේ ගිනින් කෑම එකක් ගේනවා , රෑට ඉතින්  ළඟ තිබුණු ඇල්හෙවන  කියන රෙස්ටුරන්ට් එකෙන් කොත්තු කනවා , කොත්තු එපා වෙනකම් කෑවා ඒ දවස් වල .
නුගේගොඩ බෝඩිමට ඒ කාලේ ආව අය කිව්වේ හොල්මන් මන්දිරේ කියලා. මොකද ඒ ගේ ටිකක් පරණයි අපි හිටියේ ගෙයි එක කාමරේක විතරයි අපිට ඒකාලේ එච්චර වත්ත මිදුල ගැන හොයන්න උවමනාවක් තිබුනෙත් නෑ වටේ පිටේ කැලේ වැවිලා තිබුනේ . අයිති අන්කලුයි ඇන්ටියි ඇවිල්ල මාසෙකට දවසක් විතර සුද්ද කරලා යනවා.  එහෙම ආපු දවසක ඇන්ටි දැකල කුස්සියේ තිබුන කොකා කෝලා බෝතල් ටික කියනවා පුතාලා මෙච්චර මේවා බොන්න එපා හොඳ නෑ කියලා. ඇන්ටි කොහොමා දන්නේ ඕවා නිකන් බොන්න නෙවෙයි සැන්ඩි කරන්න ගෙනාපුවා කියලා. අරක්කු බෝතල් ටික පේන්න තිබුනේ නැනේ .

No comments:

Post a Comment

බාල්දු කථා

ලව් ලොක්

  මේ  තියෙන්නේ  මං දවස ගානෙ  උදේ හවස වැඩට  යන එන පාරේ තියන පාලමක ඇන්ද. මේක පයින් යන මිනිසුන්ටයි පුට්බයිසිකල් වලටයි විතරක් තියෙන පාලමක්. පාලම...