බෝඩිම් ජිවිත 2

අපේ ඇකඩමික් මාස හයෙන් දෙවැනි මාස තුනේ අපිට හොස්ටල් හම්බුනා . හොස්ටල් එක තිබුනේ රේල් පාර අයිනෙමයි අපේ කාමරේත් හරියටම ඒ පැත්තේම තිබුනේ, රෑ දවල් කියලා නෑ එකේ කෝච්චි යනවා ඇයි එයාර් පොර්ට් එකට තෙල් කෝච්චි යන්නේ රෑට වැඩිපුර . එකෙන්  එකක් වුනා දැන් කනේ කෝච්චියක් ගියත් නින්ද යනවා අපරාදේ කියන්න බැරුව  . හොස්ටල් එකේ ඉතින් තනි දේවල් තියාගන්න බෑ . සබන් ටූත් පේස්ට් හන්ගලාවත් තියාගන්න බෑ . ඇදුමක් හොදල් දැම්මොත් වේලෙන්න කලින් වෙන එකක් ඇඳගන පනිනවා. සෙරෙප්පු රෑට කෝට්ටේ යට තියාගත්තොත් මිසක් බේර ගන්න බෑ . උදේට ටොයිලට් බාත්රුම් පෝලිම් නිසා මං කාටත් කලින් නැගිටලා ඒ වැඩ ටික කර ගන්නවා. ඒ පුරුද්ද තාමත් තියනවා බැණුමුත් අහල තියනවා යාලුවොන්ගෙන් එලි වෙනකන් නිදාගන්න බැරි පව්කාරයා කියල.
පලවෙනි සැරේ මං  ට්‍රේනින් දාගත්තේ ගාල්ලේ වෝටර් බෝඩ් එකට , ගෙදර ඉඳන් යන්න අමාරු නිසා මං අපේ ලොකු අම්මලාගේ ගෙදර නැවතුනා වඳුරඹ . මාස නාමයක් එහේ හිටියා , උදේට වඳුරඹ ඉඳන්  කරාපිටියටත් කරාපිටියෙන්  කලේගානටත් යන්න ඕන වුනා අපේ ඔෆිස් එකට. එතන හිටියේ අපේ සීනියර් අයියල අක්කලා හින්දා ගොඩක් උදේට කව්රු හරි එක්ක එයාලගේ සයිට් එහෙකට ගිහින් හවසට ඔෆිස් එකට එනවා . ඒ කාලේ තමයි ලංකාවට සුනාමිය ආවෙත් .
අපිත් ගියා සුනාමියෙන් පස්සේ ටවුන් එක සුද්ද කරන වැඩ වලට.
සඳුදා උදේට ගෙදර ඉඳන් ගියේ වැඩට , උදේ පාන්දර පහේ බස් එකට එන්න ගෙදරින් හතරයි කාලටවත් එන්න ඕන බයිසිකලේ ගෙදර තිබුනට මාව පාරට දාල එන්න කවුරුත් හිටියේ නැති නිසා මට පයින්ම තමයි යන්න වුනේ කිලෝමීටර් හතරක් . සිකුරාදා හවසට අයෙත් ගෙදර එන්නේ ගාල්ලෙන් පහමාරේ බස් එකේ ගෙදර එනකොට රෑ  නමය වත් වෙනවා , එනකොටත් පයින් තමයි අන්තිම ටික එන්න වුනේ.
ට්‍රේනින් ඉවර වුනාම අයෙත් ඇකඩමික් වලට කටුනායක යන්න වුනා, හොස්ටල් හම්බුවෙන්නේ නැති නිසා අපිට බෝඩිමක් හොයාගන්න සිද්ධ වුනා අපි කට්ටියක් එකතු වෙලා ගෙයක් රෙන්ට් එකට ගත්තා කටුනායකින් . සාලෙයි කාමර දෙකයි තිබුනේ ඒකෙ , බත්රුම් එකක් නෑ වක්කරගන නාන්න ටැංකියක් තිබුනේ. එළියේ ටොයිලට් එකක් තිබුනේ,
අපි උදේට කෑවේ කඩේකින් දවල්ට කැන්ටින් එකෙන් කෑවා ළඟ ගෙදරකින් කෑම පාර්සල් දුන්නා. හැමදාම බත් වලට කකුළුවෝ තිබුනා ඒ ගෙදර මිනිස්සු කලපුවේ මාළු අල්ලන හින්දා , ටික දවසක් යනකොට කකුළුවෝ කෑමත් එපා වුනා, ඔය අස්සේ අපේ එකෙක් ළඟ ගෙදරක හිටපු පොඩි කෙල්ලෙක් එක්ක නිහඬ ලව් එකකුත් පටන් අරන් තිබුනා කෙල්ල 9වසරේ විතර, අපි කිව්වේ චුටි කුකු කියල.  දෙන්නට දෙන්නා රෑට ජනෙල් වලින් බලන් ඉන්නවා විතරයි , කතාබහක් නෑ . අපි සමහර දවසට බිලා රෑ වෙනකම් සින්දු කියන නිසා ඒ කෙල්ලගේ අම්ම අපිට කීප සැරයක්ම සද්දෙකුත් දැම්ම , බැරිම තැන කෙල්ලත් අරන් වෙන තැනකට ගියා.  අරු ටික දවසක් හුලන් ගියා වගේ හිටියා අපිට බැන බැන .
අපේ හයිවේ සෙට් එකත් ඒ ලග ගෙදරක කාමරයක් අරන් හිටියේ. ඒ ගෙදර හිටියෙත් අක්ක කෙනෙකුයි එයාගේ දුවයි . එකෙක්වත්  තනියම නම් ඉන්න බයයි බෝඩිමේ . ඒ ගෙදර බල්ලා අපිත් එක්ක අපේ බෝඩිමටත් එනවා, දවසක් රෑ අපි උව අල්ලලා කරේ එල්ලුවා බෝර්ඩ් එකක් අර අපේ හයිවේ සෙට් එකේ උන්ගේ කාර්ඩ් ටික ලියලා . උදේ අපි යනගමන් අක්ක ඉන්නවා ගේ ගාව , බලන්න මල්ලි කවුද සක්කිලි වැඩක් කරලනේ අපේ බල්ලට කියල කිව්වා අපිට, අපිත් අනේ ඇත්තද අක්කේ කියාගන ගියා.
මාස තුනෙන් පස්සේ අයෙත් අපිට හොස්ටල් හම්බුනා, බෝඩිමට ආයුබෝවන් කියලා ආපහු හොස්ටල් එකේ කාමරයක් අල්ල ගත්තා.
හොස්ටල් ඉන්නකොට රෑට කෑවේ ළඟ කඩේකින් ,  ඒකේ බත් කනවානම් ඕන තරම් දෙනවා හැබැයි එක පිඟානේ කන්න පුළුවන් එක්කෙනාටයි , අපේ උන් ඉතින් වේටර්ට කියක් හරි දීලා දෙන්න දෙන්න කනවා. කන්න යන ගමන් අපිට පාරේ කරුවල තැන්වල XX සීන් බලාගන්නත් පුළුවන්. කලාපේ වැඩ කරන ගෑණු ළමයින් එහෙ ඉන්න මදාවියෝන්ට අහුවෙලා පාරවල් ගානේ ඉන්නවා. හොස්ටල් එකේ තිබුනේ කාමර 44යි අල්ලපු වැටේ තිබුන බෝඩිමට කිව්වේ  45 බෝඩිම කියලා. ඔකේ හිටපු අපේ සෙට් එකක් පොඩි බැල්මට් පාරක් දාගන හිටියා කාලයක් . වෙන එකෙක් ගිහිල්ලා බැල්මට් එක වැඩිපුර විඳගන්න හදලා මාට්ටු වෙලා ගුටිත් කාල පොලිසිත් ගිහිල්ලා  පොලිසියේදී  ඒ ගෑණු කෙනාට වැඳලා සමාව ගන්නත් වුනා , දැන් නම් ඌ ප්‍රසිද්ධ ස්කොලෙක ගුරුවරයෙක් .

No comments:

Post a Comment

බාල්දු කථා

ලව් ලොක්

  මේ  තියෙන්නේ  මං දවස ගානෙ  උදේ හවස වැඩට  යන එන පාරේ තියන පාලමක ඇන්ද. මේක පයින් යන මිනිසුන්ටයි පුට්බයිසිකල් වලටයි විතරක් තියෙන පාලමක්. පාලම...