අපේ ඉඩමේ විස්තරේ - 1 නමක් නැති දොළක්

දකුණු පළාතෙත් මායිමට වෙන්න ගාලු දිස්ත්‍රික්කේ තමයි අපේ ගේ තියන ඉඩම තියෙන්නේ. නගරේ ඉඳන් ටිකක් දුර නිසා ටිකක් දුෂ්කර පලාතක් තමයි. අපේ පාරේ තමයි ලංකාවේ එකම දිස්ත්‍රික්කයක් ඇතුලේ වැඩිම දුරක් යන බස් එකක් තියෙන්නේ , ඒ දෙල්ලව ගාල්ල බස් එක. ඒක  76Km යනවා . අපි ඉන්නේ එපාරෙත් ටිකක් ඇතුලේ තවලමින් පිටිගල පාරේ. 4km විතර ඇතුලට වෙන්න.         
          ඉස්සර රජයෙන් මධ්‍යම පන්තික මිනිස්සුන්ට තිබිලාඉඩම් බෙදල දෙනකොට අපේ පප්පටත්(තාත්තගේ තාත්ත) අක්කර පහක ඉඩමක් හම්බුවෙලා තිබුනා ඒකෙ තව අක්කර තුනක විතර රිසිවේෂන් එකකුත් තිබුන නිසා අපිට අක්කර අටක් විතර අයිති වෙලා තියනවා.
මුලින් මුළු ඉඩමේම රබර් ඉන්දල තියනවා , සරින් සැරේ ගිනි ගැනීම් නිසා රබර් ගස් ටික විනාස වෙලා . තැන්  තැන්  වල තාම ඉතුරු වුනු ගස් කීපයක් තියනවා. මුලින් අපේ බාප්පා කෙනෙක් පොඩි ගෙයක් හදාගන කාලයක් පදිංචි වෙලා ඉඳලත් තියනවා ඉඩමේ එක තැනක . තාම තියනවා එයා ඉන්දපු  පොල් ගහකුත් එතන.

ගාල්ල මාතර දෙනියාය තේ වතු තාත්තා වතු බංගලා වල ජිවත් වෙලා කාලයක් මම ඉපදෙන්නත් ටික කාලෙකට කලින් තමයි මේ ඉඩමේ පදිංචියට ඇවිත් තියෙන්නේ 1981 විතර. පොඩි මැටි ගෙයක් මැටි  හදා ගන එකේ පදිංචි වෙලා ඒකම පස්සේ හුණු කපරාරු කරලා අපි අවරුදු 16ක් 17ක් විතර හිටියා.
 ගේ තිබුන හරිය ඇරෙන්න ඉඩමේ සැහෙන්න ප්‍රමාණයක් කැලේට ගිහින් තිබුනේ මට මතක කාලේදී. කැකිල්ල මුළු ඉඩමම වහගන තිබුනා. ඉඩමේ තුන් පැත්තක්ම දොළ පාරවල් තියනවා. එක කෙළවරක මීටර් දෙක තුනක් උස පොඩි දිය ඇල්ලකුත් හැදිලා තියනවා. පොඩි කඳු ගැට දෙකෙන් උසම එක මුදුනේ ලොකු ගලක් තියනවා එකේ මැද තමයි  මායිම් ගල කොටලා තියෙන්නේ. පොඩි කාලෙනම් ඒ හරියට ගියේ නෑ අපි , අපිව වැහෙන්න තරමට කැකිල්ල තිබුන නිසා.

අපේ ගේ තියන ඉඩමේ කෙලවරේ තව දොළවල් දෙකක් එකතු වෙනවා , ඉස්සරනම් ලොකු වලක්  තිබිලා තියනවා අලි නාවන්න පුළුවන්. දැන් නම් හුගක් ගොඩවෙලා දන්හිසටවත් වතුරේ නෑ  එකේ.
වහින වෙලාවට දොළවල් දෙකම උතුරලා වතුර යනවා. කඳු වලින් එන නිසා හරිම සැරයි වතුර පාර . පොඩි වැස්සකට උනත් ලොකු වතුරක් එනවා . හැබැයි වැඩි වෙලා තියෙන්නේ නැහැ. ගෙදරට  දොලෙන් එන්න ඒදණ්ඩකුත් බැහැල එන්න සපත්තු පාලමකුත් තියනවා. සමහර වෙලාවට ඒදණ්ඩත් ගහගන යනවා දොලේ වතුර වැඩි වුනාම.
දොළ ගලලා වතුර බැස්සම අපි දුවනවා දොළ ගාවට අලුතෙන් ගොඩට ඇවිල්ල තියන වැලි ගොඩවල් වල මුලින්ම අඩිය තියන්න. දොලේ තිබුන කුණුරොඩු කහල ගොඩවල් ගහගන ගිහින් හරිම පිරිසිදුයි කාලයක් යනකම්. දොලේ ඕන තරම් ගල් තියන නිසා දොළ හරස් කරලා බඳින එක අපේ ලොකු ප්‍රොජෙක්ට් තමයි ඒ කාලේ. දොලෙන් නාන්න නම් අපි එච්චර කැමති වුනේ නෑ . මාළු අල්ලන්න වුනත් එච්චර උනන්දුවක් තිබුනේ නෑ . හැබැයි ඉරටුවල පොල් කෑලි ගහල ගල් අස්සේ ඉන්න ඉස්සෝ බලන්න සැහෙන්න වෙලාවක් ගත කරා ඉස්කෝලේ ඇරිලා ඇවිල්ල. ගල් අස්සේ ඉන්න ඉස්සෝ එලියට එන්නේ නෑ  ලේසියෙන් අඬුව විතරයි එලියට දාන්නේ. අපි පොල් කෑල්ල ඈත් කර කර කොහොම හරි උගේ සයිස් එක බලන්න ට්‍රයි කරා මිසක් අල්ලන්න හැදුවේ නෑ
දොලේ මාළු අල්ලන වෙනම සෙට් හිටියා . උන් එක්කෝ දිමි බෙහෙත් දානවා දොලේ උඩහින් නැත්තම් කොළ තලලා වතුරට දානවා. ඒ කොළ ජාතියේ නම නම් මම දන්නේ නෑ . අපි කිව්වේ සිලිං බිලිං කියලා . එවයි කරල් වෙලුනාම හොල්ලනකොට සිලින් බිලින් ගාන නිසා. ඕවා දැම්මම ඉතින් මාළු පැටවාගේ ඉඳල මැරෙනවා. ඉස්සොන්ගේ ඇස් පුපුරනවා. මහා පාප කර්මයක්. ගොඩක් ඉස්සර නම් මම  දැකල තියනවා දිය බල්ලා කියනා සතත් එකේ හිටියා  කලාතුරකින් ඉබ්බොත් හිටියා . දැන් නම් දණ්ඩියෙක්වත් නෑ මිනිස්සු කුඹුරු වලට බෙහෙත් ගහන්න පටන් ගත්තට පස්සේ.
තව හිටියා වතුර උඩ දුවන මකුනෙක් වගේ සතෙක් හරිම වේගෙන් උන් එහා මෙහා යනවා බලාගන්න වත් අමාරුයි. උන්ව කෝටු වලින් ගහල මරණ එක නම් අපි කරා .
අපි ඇල්ලුවේ දොලේ ඉන්න කුනිස්සෝ .උන්ව අල්ලන්න හරි ලේසියි අතට නිකන්ම එනවා. ජෑම් බෝතල්වලට වතුර පුරවලා උන්ව ඇති කරන්න හැදුවට දවස් දෙක තුනක්වත් උන් ජිවත් වෙන්නේ නෑ විදුරු බෝතල්වල.
ගෙදර ඉන්න දවසට කලිසම් දෙක තුනක්වත් මාරු කරන්න වෙනවා දොලේ වැඩ වලින් තෙමාගන්න නිසා.

No comments:

Post a Comment

බාල්දු කථා

ලව් ලොක්

  මේ  තියෙන්නේ  මං දවස ගානෙ  උදේ හවස වැඩට  යන එන පාරේ තියන පාලමක ඇන්ද. මේක පයින් යන මිනිසුන්ටයි පුට්බයිසිකල් වලටයි විතරක් තියෙන පාලමක්. පාලම...