කම්බි පාලමෙන් එගොඩට

      



 මං පුංචි කාලේ අපේ ගමට හරි හමං  පාරක් තිබුනේ නෑ  ලග තිබුන ටවුන් එක තවලම ගිං ගඟෙන්  වෙන් වෙලා තිබුන නිසා වාහනයක් එන්න පුලුවන් කමක් තිබුනේ නෑ . වාහනයක් එනව නම් කිලෝමීටර් 40ක් විතර  රවුමක් එන්න ඕන නෙළුව පැලවත්ත හරහා  . කේබල් වලින් එල්ලුන කම්බි පාලම්  දෙකකින්  තමයි ගමට එන්න තිබුනේ ගඟ හරහා. එකක් තිබුනේ ගඟ සිරිය කියන තැන අනිත් එක බටහේන . ගඟ සිරියෙ පාලම ගං  ඉවුරට වඩා ගොඩක් උස නිසා   පඩි පෙලකුත් එක්ක තිබුණේ
 ඒක නිසා මෝටර්  බයිසිකලයක්වත් එගොඩහට ගන්න බැරි  උනා ඒකෙන් . බටහෙනේ පාලම ගං ඉවුරේ ගානටම තිබුන නිසා එකෙන් නම් මෝටර් බයිසිකලයක් යන්න එන්න පුළුවන් කම තිබුණා. එකෙන්  තමයි  අපේ තාත්තත්    ආවේ ගියේ බයිසිකලෙන් . පාලම ටිකක් පටු නිසා බයිසිකල් වල සයිඩ් කන්නාඩි පාලමේ වැදිලා ගඟට වැටෙනවා නිතරම.  ඒ පාරෙත් එක තැනක ලී කොටං  දාපු පාලමක් තිබුනා ඇළක් හරහා . ඇළ හරහා යකඩ පීලි දෙකක් උඩ ලී කොටන් දාලා තිබුණේ වාහනේකට නම් ලේසියෙන් යන්න පුළුවන් වුනාට බයිසිකල් යන්න ටිකක් අමාරුයි. , පයින් යන කොටත්  ටිකක් ප්‍රවේසමෙන් යන්න ඕන කොටන් කැරකිලා  කකුල් කොට අස්සට යන නිසා. මගේ කීප සැරයක්ම වුන නිසා මං දන්නේ .
මොකද මට ඒ දවස් වල  අනිවාර්යයෙන්ම සතියට දවසක් හිනිදුම ඉස්පිරිතාලේ හරි බටහෙනේ ආයුර්වේදෙට හරි යන්න වුනේ  ඔය පාලමෙන් අම්මත් එක්ක. පොඩි කාලේ මට ලෙඩ වලින් නම් අඩුවක් තිබුනෙම නෑ.
බටහේන පාර  පයින්වත් යන්න පුළුවන් තත්වෙක තිබුනේ නෑ වැස්සට හෝදගන ගිහින් ගල් මතුවෙලා තිබුනේ හොදටම,  ඉස්පිරිතාලේ ගිහින් එනකොට කකුල ගල්වල වද්දගන තුවාලයක් නම් නැති වුනේ කලාතුරකින්.
ගඟ සිරිය පාලම  තිබුන පාර  මඩ වලවල් වලින් අඩුවක් තිබුනේ නෑ කුඹුරු මැදින් වැටිච්ච පාරක් නිසා . ට්‍රැක්ටර් ගිහිල්ල අලි නාවන වලවල් පාරේ . අපි ස්කොලේ ගියේ ඒ පාරේ . වැහි  දවසට අපි ඉස්කෝලේ ගියේ සපත්තු දෙක අතේ අරගන, පාලමෙන් එගොඩට ගිහින් තමයි සපත්තු  දාගත්තේ . සුදු කලිසම් අඳින කාලේ දණහිසට වෙනකම් නවාගන යන්න ඕන වහිනකොට නැත්තම් මඩ ඉහිලා කලිසම් ගන්න දෙයක් නැතිවෙනවා . ඉස්කොලෙටත්  ගෙදර ඉදන්   කිලෝමීටර් 4ක් විතර තිබුනා. මං ඉතිං ඉස්කෝලෙ ගිහිපු අවුරුදු 13න් 12ක්ම ගියේ පයින්ම තමයි. පුට් සයිකලයක්වත් නැති නිසා අපිට. පොඩි කාලෙනම් පුට් සයිකල් තිබුන සමහර අයියලා මාව දාගන එනවා ගේ ගාවට. ඒ එනකොටත් වැඩිපුර එන්නේ පයින් කඳු, මඩවලවල් වල බැහැ බැහැ එනකොට. උදේට වැස්සේ නැත්තම් අපි කුඩ අරන් යන්නේ නැති නිසා හවසට වැස්සොත් තෙමි තෙමීම එන්න වෙනවා , අපේ පැත්තට වහින්න ගත්තම ටික වෙලාවක් නෙවෙයිනේ වහින්නේත්. සමහර දවසට බෑග් එක ස්කොලේ ළඟ ගෙදරක තියලා තෙමි තෙමි ගෙදර යන්නේ පායනකම් බලන් ඉඳලා බැරිම තැන.
Related image


          වැල් පාලමෙන් තිබුනේ කේබල්  උඩ ලෑලි දාල දෙපැත්තෙත් අල්ලන්න කේබල් ඇදල තියෙන්නේ. ඕකේ  යන එකත් ටිකක් ඇඩ්වෙන්චර් වැඩක්. නුපුරුදු කෙනෙකුට පාලම මැදට ගියාම පැද්දෙන පැද්දීල්ලට චු යනවා . අපේ උනුත් ඉතින් බයෙන් බයෙන් යන කෙනෙක් දැක්කම තවත් පාලම පද්දනවා. ටික කාලයක් යනකොට පාලමේ ලෑලි  දිරලා එක එක අඩුවෙනවා එතකොට වැඩේ තවත් දරුණු වෙනවා. බයෙන් බයෙන් යන කට්ටිය පාලමේ දෙපැත්තේ තිබුන කේබල් අල්ලගන යනකොට අනිවාර්යෙන් අත  තුවාල කරගන්නත් වෙනවා. මොකද කේබල් වල කම්බි තැනින් තැන මතුවෙලා තියන නිසා


අවුරුද්දකට දෙකකට   සැරයක් ඔය වැල් පාලමේ ලෑලි මාරු කරලා දිරපු  කම්බි මාරු කරලා අලුත් වැඩියා කරන්න  වෙනවා . කොහොමත් ප්‍රාදේශීය සභාවෙන් ඒකට සතියක් දෙකක් ගත්තා . ඒ කාලෙට ගඟෙන් එගොඩ වෙන්න සභාවෙන්  පාරුවකුත්  ගමේ මිනිස්සුන්ගෙත් උණ පහුරකුත් දානවා . අපිට නම් ෆුල් ජොලි එකාලෙට. ස්කෝලෙට පරක්කු වෙලා ගියාට අව්ලකුත් නෑ ඒකාලෙට . පාරුව තියන ගං ඉවුරට බහින්න හරි පාරක් තිබුනේ නෑ. ඒකෙ බහින්න ගිහින් ලිස්සලා පස්ස බිම ඇනාගන්නත් වෙනවා කීප දෙනෙකුට දවසකට.
පොරවල් වෙන්න කැමති සමහරු නම් පාලමේ ලෑලි නැති කම්බි දිගේත් එගොඩට ගියා . ඉස්කෝලේ ළමයින්ගේ නම් සල්ලි ගත්තේ නැතුවට ගමේ මිනිස්සුන්ගෙන් සල්ලි ගත්තා පාරුවෙන් එක්කන් යන්න. අච්ච්රයි කියලා ගානක්  තිබුනේ නෑ මිනිස්සු කැමති ගානක් පාරුවට  ඇතුලටම දාල ගියා.

උන බට පහුරෙන් එගොඩ වෙන එකත් වෙනම ආතල් එකක් . පීනන්න පුළුවන් කෙනෙක් ඇරෙන්න පහුරේ ගියේ නෑ, මොකද තෙමෙන්න වීමේ සම්බාවිතාව සියට හැත්තෑපහක් විතර උනා එකෙන් .  ගඟ හරහා කේබල් එකක් ඇදල එක අල්ල අල්ල තමයි පහුර එහා මෙහා ගෙනිච්චේ. පහුර අරගන යනකොට යන්තම් හරි ඉස්සරහ කෙලවර පහත් වුනොත් කෙලින්ම යන්නේ වතුර ඇතුලට , මොන සක්කරයටවත් බෑ ආයෙත් පහුර මතුපිටට ගන්න ඉතින් පහුරේ ඉන්න උන් ටිකට වෙන්නේ අතේ පයේ විරිය දාල ගඟට පැනල පීනන්න තමයි. ඔය වෙලාවට  පහුරෙ ආපු උන්ට  හු කියන්න වෙනම සෙට් එකක් හිටියා එගොඩ මෙගොඩ.



අඟහරුවාදාට ඉස්කෝලේ ඇරිලා  අපි ගඟ ගාව සැහෙන්න වෙලාවක් ඉඳල තමයි ගෙදර යන්නේ , එදාට තවලම සති පොළ තිබුන නිසා ගමේම මිනිස්සු එනවා ගඟෙන් එගොඩ වෙන්න. අපරාදේ කියන්න බෑ එදාට පාරුව දෙතුන් සැරයක් කණපිට ගහනවා. අපේ ගෙවල් කිට්ටුව තිබුන තේ වත්තේ දෙමල ආච්චිලාට පාරුවේ  යන්න තේරෙන්නෙම නෑ , එක්කෙනෙක්  පොඩ්ඩක් එහා මෙහා වැනුන නම් ඇති පාරුව  පෙල්ලෙන්න. කොයි වෙලෙත් ගඟේ දෙපැත්තේ හිටියා පීනන්න පුළුවන් අය,ආච්චිලා ගඟට වැටිලා අයියෝ  ෂාමී අයියෝ ෂාමී කියලා මරහඬ දෙනවා. අපරාදේ කියන්න කාටවත් එලොව යන්න නම් දුන්නේ නෑ කවදාවත්. දැන් කාලේ වගේ ලයිෆ් ජැකට් තිබුනේ නැති උනාට

පාරුවක්  පෙල්ලුන  හැටිය ඇඳන් ඉන්න ඇදුම් පිටින්ම ගඟට පනින්න ඒ කාලේ  මිනිස්සු දෙපාරක් හිතුවේ නෑ, දැන් උනා නම් කට්ටියක් සෙල්ෆි ගහවි , කට්ටියක් ෆෝන් පර්ස් අදීවි පනින්න කලින් , එතකොටනම් දෙතුන් දෙනෙක් යන්න ඕන තැනට ගිහින් තියේවි.



    ගඟේ වතුර වැඩි  දවසට නම් පාරුවට  නග්ග ගන්නේ සීමිත ගානක් විතරයි පාරුව  පැද්දෙත් හොඳට පුරුදු කෙනෙක් විතරයි. අපේ පොඩි බාප්පා හුඟක් දවසට පාරුව  පැද්දා වතුර වැඩි නම් ගඟේ.

 1992 හරි 1993 දී තමයි මුලින්ම අපේ ගමට එන්න ගඟ හරහා කොන්ක්‍රීට් පාලමක් හදන්න පටන් ගත්තේ බටහේන හරියෙන්  ඒ දවස් වල දකුණු පළාත් ආණ්ඩුකාරය වුනු බාකිර් මාකිර්  මහත්තය මුල්ගල තිව්ව කියල මට මතකයි.



2003 මහා ගං වතුරෙන් පස්සේ ගිං ගගේ තිබුන ඔක්කොම වැල් පාලම අයින් කරලා යකඩ පාලම දැම්මා ඒවායිනුත් ත්‍රිවිල් එකක් ඇරෙන වෙන වාහනයක් යන්න බෑ ,


අපි ඉස්කෝලේ ගිහිපු ගඟසිරියේ වැල් පාලම නම් දැන් සම්පුර්ණයෙන් අයින් කරලා යකඩ පාලමක් දාලා තියෙන්නේ බටහේනේ පාරේ තිබුන පාලමේ කම්බි නැතත් දෙපැත්තේ යකඩ කුළුණු දෙක   තාමත් එතන තියනවා. අලුත් පාලම දැම්මට පස්සේ අවුරුදු පනහක් විතර ගමේ මිනිස්සුන්ට එගොඩ මෙගොඩ යන්න උදව් කරපු පාලම දෙක දැන් මතකවත් නෑ හුඟක් අයට.
(චයාරුප අන්තර් ජාලයෙනි )

No comments:

Post a Comment

බාල්දු කථා

ලව් ලොක්

  මේ  තියෙන්නේ  මං දවස ගානෙ  උදේ හවස වැඩට  යන එන පාරේ තියන පාලමක ඇන්ද. මේක පයින් යන මිනිසුන්ටයි පුට්බයිසිකල් වලටයි විතරක් තියෙන පාලමක්. පාලම...